27 April 2024
#දේශීය

රාජ්‍ය ඇමැති දුමින්ද අනුරාධපුරේදි සිය රාජකාරි කටයුතු අරඹයි

ඉදිරි අවුරුදු 10 තුළදී ඉන්ධන භාවිතා නොකර, පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ජනනය කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න බලාපොරොත්තු වන බව සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, තිරප්පනය, පෑතිස්රඹෑව ප්‍රදේශයේ සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කර මෙගාවොට් 2 ක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීම වෙනුවෙන් රජරට සස්ටනේජබල් පුද්ගලික සමාගම අක්කර 10 ක භූමි භාගයක ඉදි කරන සූර්ය බල විදුලි බලාගාරය නිරීක්ෂණය කිරීමට එක් වෙමින්ය.

සුර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක සිය අමාත්‍යය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව, අමාත්‍යංශයේදී සිය රාජකාරී කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම මෙලෙස සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කරන අනුරාධපුරයේම පුද්ගලික සූර්ය විදුලි බලාගාරයක් නිරීක්ෂණය කිරීම සිදු කෙරිණි.

අමාත්‍යවරයා අක්කර 10 ක් පුරා විහිදී ඇති සූර්ය බල විදුලි බලාගාරය නිරීක්ෂණය කරනු ලැබීය. එහි සූර්ය බල විදුලි උත්පාදක පැනල වලට පහල භූමියෙහි යටි වගාවක් ලෙසින් නවීන කෘෂිකර්මාන්ත ක්‍රම භාවිත කර මිරිස්, ගෝවා, මාලු මිරිස්, තක්කාලි හා වට්ටක්කා ආදී භෝග වර්ග 30 කට ආසන්න ප්‍රමාණයක් වගා කර ඇත. සූර්ය බල පැනල වල පහළ කොටස තුළ හරිතාගාර ඉදි කර එම හරිතාගාර තුළ වගාවන් සිදු කර තිබූ අතර, ඒ මගින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වගා කළ නොහැකි භෝග විශාල ප්‍රමාණයක්ද වගා කළ හැකි බව එහි වගා කටයුතු භාර සුනිල් දිසානායක මහතා අමාත්‍යවරයාට පෙන්වා දුන්හ. ඉදිකිරීම් අවසන් අදියරේ පවතින මෙම සූර්ය බලාගා‍රය මගින් මෙගා වොට් 02 නුදුරේදීම ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිතය.

එහිදි අදහස් දැක් වු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා “ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලාපොරොත්තුව ‍විදිහට ඉදිරියේදී සූර්ය බලයෙන් විදුලිය නිෂ්පාදනය කිරීමටත්, නව තාක්ෂණය ගොවි ජනතාවට හදුන්වා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා.ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ 2030 වන විට විදුලිය නිෂ්පාදනය පුනර්ජනනීය බලශක්තිය මගින්, ඉන්ධන භාවිතයෙන් තොරව විදුලිය නිෂ්පාදනය කරන්න ඉදිරි අවුරුදු 10 තුලදී, එය තමයි අපිට ඉලක්කයක් ලෙස ලබා දී තිබෙන්නේ. ඉදිරි අවුරුදු 10 තුළදී ඉන්ධන භාවිතා නොකර, පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය ජනනය කිරීම සඳහා මට ලබා දී තිබෙන වගකීම ඉෂ්ඨ කරන්න මම බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.

මෙම අවස්ථාවට තිරප්පනය ප්‍රාදේශීය සභාවේ සභාපති රොෂාන් ඉලංගසිංහ මහතා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මිහින්තලය ආසන සංවිධායක සරත් ඉලංගසිංහ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින් රජරට සස්ටනේජබල් පුද්ගලික සමාගමේ නිළධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *