දශක අටක කාලයක් සුපේසල ශික්ෂාකාමී පැවිදි දිවියක් ගත කරමින් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් අනුපමේය සේවාවක් ඉටුකළ ශ්රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්ය කැප්පිටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය රාජ්ය අනුග්රහය ඇතිව සිදු කිරීමට රජය තීරණය කර තිබේ.
නායක ස්වාමීන්ද්රයන් වහන්සේගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය හෙට (21) පස්වරු 2.00ට ගැටඹේ නාගරික ක්රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය. අපවත් වන විට 95 වැනි වියේ පසු වූ උන්වහන්සේගේ දේහය මහජන ගෞරවය සඳහා මේ වන විට ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, දේහය රැගත් රිය පෙරහැර හෙට පස්වරු 1.30ට පමණ විහාරස්ථානය අබියසින් ක්රීඩාංගණය කරා පිටත් වීමට නියමිතය. මෙම ආදාහන පූජෝත්සවයේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් මධ්යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්ය සුරංග ප්රනාන්දු සහ බුද්ධශාසන නියෝජ්ය අමාත්ය ගමගේ දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණි.














