27 April 2024
#දේශීය

පෞද්ගලික පන්ති නවත්වා, දහම් අධ්‍යාපනයට ඉරිදි දින වෙන් කරන්න – අධ්‍යාපන ඇමති වෙත විශේෂ ඉල්ලීමක්

ඉරිදා උදෑසන පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කිරීම සඳහා මැදිහත් වන්නැයි, දහම් පාසල් ගුරුවරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් විශේෂ ඉල්ලීමක් කළහ.

දහම් පාසල් ගුරුවරුන් වෙනුවෙන්, ගංගොඩවිල සාරානාත් බෞද්ධ මධ්‍යස්ථානයේ, ශ්‍රී ධීරානන්ද දහම් පාසලේ උප ප්‍රධානාචාර්ය සිසිර කුමාර මහතා මෙම ඉල්ලීම කළේ, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ විමධ්‍යගත අරමුදලින් උපකරණ පරිත්‍යාගයක් සඳහා, ඊයේ (23) එම බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණි අවස්ථාවේදීය.

පා.ම. යදාමිණි ගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේද සහභාගී වූ මෙම අවස්ථාවේදී දරුවන් දහම් පාසල් පැමිණීමේ සංඛ්‍යා ලේඛනද දක්වමින්, දහම් පාසල් ගුරුවරුන් පෙන්වා දුන්නේ, ඉරිදා උදෑසන පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කර දහම් අධ්‍යාපනය සඳහා වෙන්කිරීම සම්බන්ධයෙන් මිට පෙරද සාකච්ඡා පැවත්වුනද නිශ්චිත අවසාන තීරණයක් නොමැති බවය.
එම නිසා පාර්ලිමේන්තුවේද අවධානය යොමුකර, අධ්‍යාපන අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යංශය සමග මෙම ඉල්ලීම ඉටු කිරීමට මැදිහත් වන්නැයි දහම් පාසල් ගුරුවරු විශේෂයෙන් ඉල්ලා සිටියහ.

ගංගොඩවිල සාරනාත් බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රාචර්යා පූජ්‍ය තලාවේ සද්ධතිලක ස්වාමින් වහන්සේ ඇතුළු සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ, පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා,හිටපු පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ මහතා ඇතුළු ජනතා නියෝජිතයන්, දහම් පාසල් ගුරුවරුන්, සිසු දරුවන්, ප්‍රදේශවාසීන්ගේ සහභාගිත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *