සුඩානයේ වසර තුනහමාරකට ආසන්න කාලයක් පවතින යුද්ධය අවසන් කිරීම සඳහා යෝජනා වී ඇති සාම සාකච්ඡා ප්‍රතික්ෂේප කරමින්, රැපිඩ් සපෝට් ෆෝර්සස් (RSF) අතැතිව පවතින සියලු භූමි ප්‍රදේශ යළි අත්පත් කර ගන්නා බව සුඩාන හමුදා ප්‍රධානී අබ්දෙල් ෆත්තා අල්-බුර්හාන් ප්‍රකාශ කර තිබේ.
සුඩානයේ රාජ්‍ය පුවත් ඒජන්සියට අනුව, අල්-බුර්හාන් මෙම ප්‍රකාශය සිදුකර ඇත්තේ ඊයේ (07) උතුරු සුඩානයේ මෙරොවේ ප්‍රදේශයේ පිහිටි ‘ගම්මානය 5’ හි පැවති රැස්වීමක් අමතමිනි. RSF පාලනය යටතේ පවතින භූමි ප්‍රදේශවල “සෑම අඟලක්ම” නැවත අත්පත් කර ගැනීම තම අරමුණ බව ඔහු එහිදී අවධාරණය කර ඇති අතර, සුඩාන හමුදාව සහ RSF අතර 2023 අප්‍රේල් මාසයේදී ආරම්භ වූ ගැටුම් හේතුවෙන් රට තුළ දැඩි මානුෂීය අර්බුදයක් මතුව තිබියදී මෙම නව ප්‍රකාශය නිකුත් වී තිබේ.















