27 April 2024
#සංවර්ධන

සියළුම ව්‍යාපාරවලට ඍජුව සහාය දෙන්න – ජනපති

මහබැංකුව දුන් සහන ආර්ථිකයත්, ජනතාවත් ශක්තිමත් කිරීමට භාවිත කිරීම රාජ්‍ය බැංකුවල වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ගෝලීය වසංගතයෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අවස්ථාවකදී එම අර්බුදය ජය ගැනීමට කෘෂිකාර්මික, සුළු හා මධ්‍ය පරිමාණ ඇතුළු සියලු ව්‍යාපාර ක්ෂේත්‍රවලට ඝෘජුව සහාය වෙමින් ඒවා නගාසිටුවීම කළ යුතු බව ජනාධිපතිවරයා පැවසිය.

මහජන බැංකුවේ ක්‍රියාකාරීත්වය විමර්ශනය කරනු පිණිස ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සදහන් කළේය.

මහබැංකුව සමග පැවති සාකච්ඡාවෙන් පසු රටේ ආර්ථිකය පුනරුදයට අවශ්‍ය පරිසරය සැකසීමේ අවස්ථාව රාජ්‍ය බැංකු වෙත පැවරී තිබේ. රටේ ආර්ථික අභිවෘද්ධිය පිණිස සාම්ප්‍රදායික රටාවෙන් බැහැරව අලුත් සංවර්ධන වැඩපිළිවෙළක් ඇතිව ක්‍රියාකළ යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

මුදල් රට පුරා සංසරණය විය යුතු බවත්, නියම ගනුදෙනුකරු සහ ව්‍යාපාරය හඳුනාගෙන ණය නිකුත් කිරීම රට පුරා විසිරී ඇති මහජන බැංකු ශාඛා 600කට පැවරී ඇති වගකීම බවත් හෙතෙම සඳහන් කළේය. එහි පසුවිපරමට සියලු කළමනාකරුවන් බැඳී සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

බැංකුව ගමට ගෙන යාමට මෙය අවස්ථාවක් කරගත යුතු බවද ජනාධිපතිවරයා පැවසිය. මේ මුදල් භාණ්ඩ ආනයනය සඳහා ණය වශයෙන් නොදිය යුතු බවද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

ලීසිං ණය වාරික සඳහා දුන් මාස 06ක සහනය අදාළ පාර්ශ්වයන්ට අනිවාර්යයෙන් දිය යුතුය. ඉදිකිරීම් කර්මාන්තයටද ප්‍රමුඛත්වය දීම අවශ්‍ය වෙයි. මධ්‍ය ආදායම් ලාභීන්ගේ නිවාස අවශ්‍යතාව නාගරික සංවර්ධන අධිකාරිය සමග එක්ව සපුරාලීමට අවස්ථාව මහජන බැංකුවට විවෘත වී ඇතැයි ජනාධිපතිවරයා සඳහන් කළේය.

ගතවූ මාස 08 තුළ මහජන බැංකුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති පිළිබඳව සභාපති සුජීව රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා දැනුවත් කළේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල, සාමාන්‍යාධිකාරි බොනිෆස් සිල්වා, මහජන බැංකුවේ සහ පීපල්ස් ලීසිං ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල ඇතුළු ඉහළ කළමනාකරීත්වය සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *