හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු (CID) භාරයේ සිටියදී නිරුවත් කර ගුද මාර්ගය පරීක්ෂා කරමින් අමානුෂික වධහිංසනයට ලක් කළ බව CIDය විසින්ම ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පිළිගෙන තිබේ. සලේ මහතාගේ බිරිඳ චෝදනා කරන්නේ මීයන් සහ දුර්ගන්ධය සහිත අඩි 6×4 කුඩා සිරකුටියක ඔහුව රඳවා තබමින් මානසිකව වට්ටවා ඇති බවයි. පවතින අසාධාරණයට එරෙහිව සලේ මහතා සිදුකරන අඛණ්ඩ උපවාසය හේතුවෙන් මේ වන විට ඔහු දැඩි අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම සිදුවීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අවභාවිත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයෙන් ලැබෙන ඩොලර් මිලියන ගණනක GSP+ බදු සහනය අහිමි වීමේ බරපතළ අවදානමක් මතුව ඇති බව හිටපු අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා අනතුරු අඟවයි. ජාත්‍යන්තර මානව හිමිකම් සම්මුතීන් උල්ලංඝනය වීම නිසා ඉදිරියේදී පැමිණීමට නියමිත යුරෝපා සංගම් නියෝජිතයන්ගේ දැඩි නිරීක්ෂණයට මෙය ලක්වනු ඇති අතර, එමඟින් මෙරට ඇඟලුම් ඇතුළු අපනයන ක්ෂේත්‍රයට දැඩි මරු පහරක් එල්ල විය හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
















