දකුණු චීන මුහුදේ පිහිටි, තායිවානය යටතේ පවතින අයිටු අබා (Itu Aba) හෙවත් තායිපිං (Taiping) දූපතේ පැවැති වෙරළාරක්ෂක බලකා පෙරහුරුවක් නිරීක්ෂණය කිරීම සඳහා තායිවාන සාගර කටයුතු පිළිබඳ අමාත්‍ය කුවාන් බි-ලින්ග් (Kuan Bi-ling) මහත්මිය සංචාරයක නිරත විය. කලාපය තුළ යුදමය නොසන්සුන්තාව ඉහළ යමින් පවතින පසුබිමක මෙවැනි ඉහළ පෙළේ සංචාරයක් සිදුවීම විශේෂත්වයකි.
මානුෂීය සහන සේවා සහ වෛද්‍ය ඉවත් කිරීමේ පෙරහුරුවලට සමගාමීව, සැකකටයුතු නෞකා අත්අඩංගුවට ගැනීමේ යුද අභ්‍යාසයක් ද මෙහිදී පැවැත්විණි. චීනය, වියට්නාමය සහ පිලිපීනය යන රටවල් ද මෙම දූපතේ අයිතිය ඉල්ලා සිටියි. අමෙරිකාව සහ පිලිපීනය එක්ව මහා පරිමාණ යුද අභ්‍යාස පවත්වන අතරතුර, චීනය ද සිය ගුවන් යානා ප්‍රවාහන නෞකා සහ යුද නැව් කලාපයට යොමු කර ඇති මොහොතක තායිවාන අමාත්‍යවරියගේ මෙම පැමිණීම සිදුව ඇත. ස්ප්‍රැට්ලි (Spratly) දූපත් සමූහයේ විශාලතම ස්වභාවික දූපත වන මෙහි 200ක පමණ පිරිසක් ජීවත් වන අතර ගුවන් පථයක් සහ රෝහලක් ද ස්ථාපිත කර තිබේ.















