27 April 2024
#දේශීය

අද වන විට තේ අස්වැන්න 50% කින් අඩු වෙලා – විපක්ෂනායක

පොහොර තහනම් කිරීමට ආණ්ඩුව ගත් අන්තනෝමතික තීන්දුව නිසා සිලෝන් ටී කීර්තිනාමය අපේ රටට අහිමි වෙමින් පවතින බවත් අද වන විට තේ අස්වැන්න 50% කින් පහළ බැස ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මහතා පවසයි.

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ආසනයේ වඳුරඹ මාබොටුවන ප්‍රදේශයේ තේ ගොවීන් මුහුණ දෙන ගැටලු පිළිබඳව විමසන ගොවි හදගැස්ම වැඩසටහනට අද (13) සහභාගි විය.

මේ හේතුවෙන් තේ කර්මාන්තය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇති බවත් තේ ගොවියගෙ ජීවනෝපාය බිඳ වැටී ඇති බවත්, කර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය තේ දලු ප්‍රමාණයවත් නොලැබෙන තත්ත්වයක් උද්ගත වී ඇති බවත් ඒ මහතා පැවසීය.

රසායනික ද්‍රව්‍ය හා පොහොර නොමැතිව මෙරට තේ වගාව කරන්නට බැරිබව කුඩා දරුවෙකු පවා දන්නා කාරණයක් බවත් එහෙත් එය ආණ්ඩුව නොදන්නා බවත් පැවසූ විපක්ෂ නායකවරයා මේ පොහොර තහනම ලංකාවේ සිලෝන් ටී කියන කීර්තිමත් නාමය ලෝකයෙන් අහෝසි කරන්න ගත්ත කුමන්ත්‍රණයක් යැයි ද පැවසීය.

සාමාන්‍යයෙන් තේ තවාන් සඳහා ටී – 65 පොහොර අත්‍යවශ්‍ය අතර තේ තවානට නිසි පෝෂණය නොලබන විට තේ පැලය සහ, එයින් හැදෙන තේ ගස බාල වෙන බවද, ගුණාත්මක පැල ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක, හිටපු අමාත්‍ය පියසේන ගමගේ, හිටපු මන්ත්‍රී වන විජේපාල හෙට්ටිආරච්චි, හිටපු මන්ත්‍රී සහ සමගි ජන බලවේගයේ බද්දේගම ප්‍රධාන සංවිධායක බන්දුල ලාල් බණ්ඩාරිගොඩ ඇතුලු මහජන නියෝජිතයින් රැසක් ම එක්ව සිටියහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *