තලවතුගොඩ ප්‍රදේශයේ සංචාරක සහ විදේශ රැකියා නියෝජිත ආයතනයකට කඩා වැදී සේවකයන් දණගස්වා රුපියල් කෝටි 8කට ආසන්න මුදලක් සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියේ මහාමොලකරු සහ රියැදුරු ලෙස කටයුතු කළ සැකකරු මුල්ලේරියාව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අත්අඩංගුවට පත් සැකකරු මීට පෙර එම ආයතනයේම උප නියෝජිතයෙකු ලෙස කටයුතු කර ඇති අයකු බවයි. ආයතනයේ හිමිකරුට ලබා දීමට තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක ණය මුදලක් මඟහැරීම සම්බන්ධයෙන් මෑතකදී හිමිකරු විසින් ප්‍රසිද්ධියේ බණින්නට යෙදීමෙන් ඇති වූ ලැජ්ජාව සහ දැඩි ණය බර හේතුවෙන් මෙම කොල්ලය සැලසුම් කර ඇති බව සැකකරු පවසා තිබේ. සැකකරු සතුව තිබී කොල්ලකන ලද මුදලින් රුපියල් එක්කෝටි අසුපන් ලක්ෂයක්, මෝටර් රථයක් සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන ඇති අතර, සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.
















