‘දිට්වා’ ආපදා තත්ත්වය හේතුවෙන් හානි වූ තලෙයිමන්නාරම් දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර මාසයකට අධික කාලයක් ගතවී ඇතත්, එම මාර්ගයේ දුම්රිය ධාවනය යළි ආරම්භ කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසන පරිදි, දැනට මෙම මාර්ගය පැයට කිලෝමීටර් 120ක වේගයකින් දුම්රිය ධාවනය කළ හැකි මට්ටමට යථා තත්ත්වයට පත් කර ඇත. කෙසේ වෙතත්, දුම්රිය එන්ජින් හිඟය ඇතුළු හේතු දක්වමින් ධාවන කටයුතු ආරම්භ කිරීම ප්‍රමාද කිරීම නිසා උතුරු ප්‍රදේශයේ ජනතාව, ආරක්ෂක අංශ සාමාජිකයින් සහ මඩු දේවස්ථානය වෙත ගමන් කරන බැතිමතුන් ඇතුළු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. ප්‍රතිසංස්කරණය අවසන් කර ඇති මෙම දුම්රිය මාර්ගයේ සේවා කඩිනමින් ආරම්භ කරන ලෙස වෘත්තීය සමිති බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
















