තණමල්විල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ නිකවැව ග්රාම නිලධාරී වසමේ නිකආර ගම්මානයේදී ට්රැක්ටර් රථයකට යට වීමෙන් වයස අවුරුදු 80ක තිදරු පියෙක් ඊයේ (29) ජීවිතක්ෂයට පත්ව ඇතැයි තණමල්විල පොලිසිය පවසයි.
කුඹුරේ ගොයම් කැපීම සඳහා මැෂින් එක රැගෙන ආ ට්රැක්ටර් රථයට යට වීමෙන් මෙම මරණය සිදුව තිබේ. අදාළ ගොවියා තම කුඹුරේ වී කපා අවසන්ව වී ගෝනි සිය පුත්රයාගේ නිවෙසට ගෙනගොස් තබා, රාත්රී කාලයේ ගොයම් කපන මැෂින් එක ගෙනා ට්රැක්ටර් රථය ඔහුගේ නිවස ඉදිරියට ගෙන ආ අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී ඇත.
කෙසේ වෙතත්, මෙම සිදුවීම කෙසේ සිදුවූවාද යන්න මෙතෙක් තහවුරු වී නැති අතර, අනතුරින් පසු ට්රැක්ටර් රථයේ රියැදුරු පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය මහෙස්ත්රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර, තණමල්විල පොලිස් ස්ථානාධිපතිවරයාගේ මූලිකත්වයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වේ.
















