27 April 2024
#දේශීය

හැමදාම පස්සට ගිය රටට ඉස්සරහාට යන්න හොඳ අවස්ථාවක් ලැබිලා – මන්ත්‍රී තිස්ස

අප ආගමික, ජාතික, දේශපාලනික වශයෙන් විවිධ මතවාද තුළින් බෙදිම් ඇතිවීම හේතුවෙන් අප පසුපසට මිසක ඉදිරියට යෑමට හැකියාවක් නොමැති අතර අප වෙත දැන් ලැබි ඇත්තේ ඉතා හොඳ අවස්ථාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා, “ අපේ රටේ 2022 වර්ෂය කියන්නේ ආර්ථික, සමාජීය, දේශපාලනික වශයෙන් මහා දැවැන්ත ව්‍යාකූල තත්වයන්ට මුහුණදුන්න වර්ෂයක් විදිහට කියන්න පුළුවන්. නිදහසින් පසු අපේ රටේ විවිධ ආණ්ඩුවලට විවිධ අභියෝග ආවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ කාලයේ යුද්ධය නිමා කිරීමට ගත් උස්තහය වගේ. ඒ වගේ ගිය වසරේ වෙන කොට කොවිඩ් වසංගතයත් එක්ක අපේ රටේ ආර්ථිකය කඩාවැටිලා විශාල ප්‍රශ්න ගණනාවකට මේ රටේ ජනතාවට මුහුණදෙන්න සිදු වුණා. ආණ්ඩුවක් විදිහට විපක්ෂය වගේ කන්කෙදිරි ගාලා, කෑගහලා, වෛරය පතුරවලා ජනතාව අතරට ගිහින් අඩන්න අපිට‍ පුළුවන්කමක් නෑ. අපිට ජනතාව වගකීමක් දිලා තිබෙනවා. විශාල ඩොලර් අර්බුදයත් එක්ක තමයි අපි මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ. වඩා වැදගත්ම සහ තිරණාත්මක අවස්ථාවක තමයි IMF එකට යන්නේ. දැන් අපිට IMF එකේ මුල්‍ය සහයෝගය ලැබිලා තිබෙනවා. අපි දැන්වත් පක්ෂ පාඨ, ජාතිවලට බෙදිලා කෑ ගහනවා වෙනුවට ඡන්ද තියන්න කියලා පාරේ කෑ ගහනවා වෙනුවට, බලය නැති විපක්ෂය බලය අල්ල ගන්නවා වෙනුවට වැදගත් වෙන්නේ රටේ ජනතාව වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි වීමයි. අපේ මේ රට අලාභදායි, ආර්ථික වශයෙන්, මානසික වශයෙන් කඩාවැටිලා තිබෙන රටක්. වහලයක් නැති ගෙයක් හා සමානයි. ඒ නිසා පළමුව මෙහි වහලය සකසගෙන ඉන්න හිටින්න තැනක් හදා ගැනීමයි අවශ්‍ය. ඒ සඳහා කිසිම කෙනෙක් විකල්ප යෝජනා කරන්නේ නෑ. IMF එකට යනකොට විපක්ෂයෙන් කකුලෙන් අදිනවා විතරයි. විපක්ෂය ඉන්න ඕන චෝදනා කරන්න විතරක් නොවේ විකල්ප යෝජනා දෙන්නත්. ඒ නිසා මේ වේලාවට ගැලපෙන හොඳම යෝජනාව තමයි මේ ගෙනත් තිබෙන්නේ. ඒ ලැබෙන ණය මුදලත් එක්ක අපි මේ සඳහා සැලැස්මක් දිලා තමයි කටයුතු කරගෙන යන්නේ. අපි විපක්ෂයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා අපි සියලුදෙනාම එකතුවෙලා වැඩකරන්න ඕන අවස්ථාවක්. ඒ නිසා හැමකෙනාම වගකීම් කොටසක් අරගෙන ඉෂ්ඨ කරන්න ඕන අවස්ථාවක්. මේ රටේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයා ලෙස කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් තිබෙනවා නම් යම් වගකීමක් අරගෙන මාසයක් හෝ අවුරුද්දෙන් ඉෂ්ඨ කළ හැකි නම් අන්න ඒක ඔබ පළපුරුද්දක් හැටියට මෙහි වැඩ කරලා පෙන්වන්න. අපි දැකලා තිබෙන්නේ දැකපුරුද්දක් විතරයි. කතා කරනවා සුන්දරයි. සුරංගනා කතා කියන්න ලේසි. හැබැයි රාජ්‍ය පාලනය ඒ තරම් සුරංගනා කතාවක් නොවේ. එතුමාට වැඩ කරන්න පුළුවන්නේ කියන්නේ. එතුමාට ආරාධනා කරනවා ආණ්ඩුවට නාවට කමක් නෑ වැඩපිළිවෙළත් එක්ක එකතුවෙලා රට ගොඩදාන වැඩපිළිවෙළට ඒකාබද්ධ වෙන්න කියලා. ඒ වගේම විපක්ෂයේ සියලු කණ්ඩායම්වලට කියනවා ඔබට හැකි මට්ටමින් මේ වැඩපිළිවෙළට දායක වෙන්න කියලා. IMF අරමුදල සම්බන්ධයෙන් යම් වැඩිපිළවෙලක් සකස් කරන්න හදනකොට එතන්ටත් යන්න නොදි කකුලෙන් අදිනවා. විවිධ සංගම් පාරට ඇවිල්ලා වැඩ වර්ජනය කරනකොට, පාසල් වහලා පාසල් දරුවන්ගේ අධ්‍යාපනය නතර කරන කොට ඇයි මේ වේදනාව දැනෙන්නේ නැත්තේ. ඒ වගේම සමහර වෛද්‍යවරුන්, සෞඛ්‍ය අංශයේ නියෝජිතයින් සමර පිරිස් රෝගීන්ව බිල්ලට තියා ගන්නවා. ඒ නිසා අපි කියන්නේ රෝගීන්ව බිල්ලට ගන්නේ නැතිව, අනාගතය භාර ගන්න ඉන්න දරුවන්ගේ අධ්‍යාපනය බිල්ලට ‍තියන්නේ නැතිව, මේ රටේ විවිධ අංශවල ඉන්න කොටස් පාරට බස්සලා රට අඩපන කරන්නේ නැතිව තමන්ගේ වෘත්තිය අයිතිවාසිකම් දිනාගන්නවා නම් හොදයි. ලෝකයේ සෑම රටක්ම වේගයෙන් නැගිටලා යන වෙලාවේ අපේ රට මොකක්ද කරන්නේ. ආගමික වශයෙන්, ජාතික වශයෙන්, දේශපාලනික වශයෙන්, විවිධ මතවාද තුළින් බෙදෙනවා.බෙදිම් ඇතිවීම තුළින් අපි පහලට යනවා මිසක් අපිට කවද්ද මේ රට ඉදිරියට යන්න පුළුවන් කියලා ගැටලුවක් තිබෙනවා. ඒ නිසා මේ ලැබුණේ හොඳ අවස්ථාවක්. මේ පුද්ගල චරිත සියල්ලම අමතක කරලා මේ සමස්ථ ක්‍රියාදාමයේ වාසිය මේ රටේ අනාගත දූදරුවන්ට දෙන්න ලැබුණු හොඳ අවස්ථාවක්. අපි සියලුදෙනා ඒකාබද්ධ වෙලා යන වැඩපිළිවෙළකට කවුරුත් එකතුවෙලා වැඩ කරමු. ”යැයි මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *