27 April 2024
#දේශීය

26 වනදා සිට දිවයිනට ඇඳිරීනීතිය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රි 10 සිට අලුයම 4 දක්වා පමණයි

දිවයිනේ සියලු දිස්ත්‍රික්කවල හෙට (26) සිට ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10.00 සිට අළුයම 4.00 දක්වා බව පොලිසිය පවසයි.

නියෝජ්‍ය පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඇඳිරි නීතිය ලිහිල් කළද කර්මාන්තශාලා, ආයතන, කාර්යාල සහ වෙළෙඳසැල් පවත්වාගෙන යාමේදීත්, මගී ප්‍රවාහනයේදීත් කොරෝනා වෛරසය පාලනය පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති පිළිවෙත් මුලිමනින්ම අනුගමනය කළ යුතු බවයි.

සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් ලබා දී ඇති නිර්දේශ මත විෂබීජ හරණය, මුඛ ආරවණ පැළඳීම, විටින් විට අත් සේදීම සහ සමාජ දුරස්ථතාව තබා ගැනීම ඊට අයත්ය.

එසේම රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව, කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න ඒ ඒ ආයතනය සලසන සේවාව සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ පදනම් කොටගෙන තීරණය කිරීම ආයතන ප්‍රධානීන්ට පැවරේ.

 

ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසුවද සෞඛ්‍ය නියමයන් පිළිපදිමින් එදිනෙදා කාර්යයන්හි නිරත වන්නැයි රජය ජනතාවගෙන් ඉල්ලා සිටී. හෙට, 26 අඟහරුවාදා සිට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතර ගමනාගමනයට අවසර ලැබේ.

 

සමාජ දුරස්ථ භාවය ආරක්ෂා නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා හෙට සිට පොලිසියට බලය පවරමින් තිබෙන අතර දුරස්ථභාවය නොමැති පිරිස් අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

 

එසේම අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයෑමට හැකිතාක් මහජනතාව කටයුතු කළ යුතු බවත් අන් සියලු දෙයට වඩා සමාජ දුරස්ථභාවයට මුල් තැන දී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් අජිත් රෝහන මහතා පවසනවා.

එසේ නොකරන පුද්ගලයින්ට නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *