27 April 2024
#දේශීය

සුරා බදු නීති සංශෝධනය විය යුතුයි – රාජ්‍ය අමාත්‍ය සියඹලාපි‌ටිය

මධ්‍යසාර සහ දුම්වැටි මත බදු පැනවීමේ රජයේ අරමුණ වන්නේ භාවිතය අවම කිරීම මිස බදු ආදායම ඉහළ නංවා ගැනීම නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් අවහන්හල් වෙත මෘදු මත්පැත් අවසර පත්‍ර ප්‍රදානය සඳහා සංචාරක අමාත්‍යාංශයේ අද (07) පැවැති උත්සවයේ දීය.

සුරා බද්ද යනු මග පෙන්වීම සඳහා යොදා ගන්නා බද්දක් මිස හුදු රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ අරමුණෙන් පැනවූවක් නොවන බව හෙතෙම පැවසිය.

රංජිත් සියඹලාපිටිය රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ අදහස් පල කලේය “අපි දන්නව අද අපි ඉන්නේ ආර්ථික අභියෝගයක් හමුවේ. ඉස්සර අපි කිවුවෙ ඉදිරි මාස කිහිපයක් සඳහා අපට අවශ්‍ය ඩොලර් සංචිත තියෙනව කියල. නමුත් ඇත්තට ම අද අපට තියෙන්නෙ ඩොලර් බිලියන 1.8ක් විතර. ඒකෙනුත් භාවිත කළ හැකි ප්‍රමාණය ඩොලර් මිලියන 300ක් වගේ ප්‍රමාණයක් තියෙන්නෙ. මම සංඛ්‍යා ලේඛන ටිකක් කියන්නම් අපි අද ඉන්න තත්ත්වය තේරුම් ගන්න. 2018 දී අපේ සංචාරක පැමිණීම 2,333,769ක්. ආදායම ඩොලර් මිලියන 3,925යි. 2019 දී සංචාරක පැමිණීම 1,913,702යි. ආදායම ඩොලර් මිලියන 4,381යි. 2020 දී ගැටලු රාශියක් මධ්‍යයේ සංචාරක පැමිණීම සටහන් වෙන්නෙ 570,704ක් විදියට. ආදායම ඩොලර් මිලියන 3,607යි. 2021දී නැවතත් එය 194,495 දක්වා පහළ ගියා. ආදායම දැක්වුණේ ඩොලර් මිලියන 682ක් විදියට. මේ අවුරුද්දෙ අගෝස්තු 31 වෙද්දි යම් ප්‍රගතියක් ලබමින් 496,430ක් සංචාරකයන් ඇවිත් තියෙනවා. ආදායම ඩොලර් මිලියන 893ක් ලැබිල තියෙනවා.” යැයි අමාත්‍යවරයා පැවැසීය.

සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, සංචාරක අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා, සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *