27 April 2024
#ක්‍රීඩා

“අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය 08 වනදා ඇරඹෙයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘’අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන’’ සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය හෙට (08) දින කොළඹ තුරඟ තරග පිටියේ දී ආරම්භ විමට නියමිතයි.

මෙහි සමාරම්භක උත්සවය කොවිඩ් මාර්ගෝපදේශයන්ට යටත්ව මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි හා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය සඳහා බංග්ලාදේශය, සී ෂෙල්ස් රාජ්‍යය, මාලදිවයින හා ශ්‍රී ලංකාව යන රටවල් සහභාගී වන අතර එම කණ්ඩායම් මේ වනවිට මෙරට තරු පන්තියේ හෝටල්වල ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ නේවාසිකව රැඳී සිටිති.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව තරගාවලිය නැරඹීම සඳහා ප්‍රේක්ෂකාගාරයේ ධාරිතාවෙන් අඩකට අවස්ථාව හිමි වන අතර කොවිඩ් එන්නත්කරණ කාඩ්පත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තරග පැවැත්වෙන දිනයන්හි දී ක්‍රීඩාංගණ දොරටුවෙන් ප්‍රවේශ පත් ලබාගත හැක.

තරගාවලියේ පළමු තරගය බංග්ලාදේශය හා සී ෂෙල්ස් රාජ්‍යය අතර හෙට (08) ප.ව.4.00ට කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වේ. දෙවන තරගය එදිනම රාත්‍රී 9.00 ට ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවැත්වේ.

ලීග් ක්‍රමයට පැවැත්වෙන මෙම තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ ඉහළින්ම සිටින කණ්ඩායම් දෙක නොවැම්බර් 19 වනදා තරග වැදීමට නියමිත අතර එම අවසන් මහා තරගයෙන් අනතුරුව ජයග්‍රාහී කණ්ඩායමට ‘‘අගමැති මහින්ද රාජපක්ෂ කුසලානය’’ සමග ඇ.ඩොලර් 30,000ක ත්‍යාග මුදලක් ද පිරිනැමේ.

මෙහි සමාප්ති උළෙල ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර මෙම අවස්ථාවට ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මහතා (Gianni Infantino) සහභාගීවීමට නියමිතය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *