27 April 2024
#දේශීය

ආණ්ඩුව නීතිය ක්‍රියාත්මක කිරීමේදී සාදාචාරවත් බවක් පේන්න නැහැ – මන්ත්‍රීනි හරිනි

ජනතා ප්‍රසාදයක් මත බලයට පත් වුනු ආණ්ඩුවක් වසර දෙකක් ගත වෙන්න කලින් ජනතා අප්‍රසාදයට පත්වෙනවා මෑත ඉතිහාසයේ අසා නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.

ඇය මේ බව පැවසුවේ ඊයේ (06) ජනතා විමුක්ති පෙරමුණේ පැවැති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙසේ අදහස් පල කලේය ” වසර 73ක් තිස්සේ ආණ්ඩු කළේ තමන්ගේ ආසාර්ථකත්වය හමුවේ ජනතා අවධානය වෙනතකට යොමු කරන්න විවිධ දේ කරනවා. එකක් තමයි ජාතිවාදය අවුස්සන එක. මිනිසුන් අතර බෙදීම් ඇති කිරීම මේ දේශපාලන පක්ෂවල උපක්‍රමයක්. එයින් මිනිස් ජීවිත අහිමිවෙන එක ලේ සෙලවෙන එක පාලකයින්ට අදාල නැහැ. ඔවුන්ගේ බල ව්‍යාපෘතියට ඕනෑම දෙයක් කරනවා. ඒ විදියටම මේ ආණ්ඩුවත් ජාතිවාදී ගැටුම් ඇති කරන ආකාරයේ තීන්දු තීරණ ගනිමින් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි රටේ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කරන ක්‍රියාමාර්ග ගනිමින් ඉන්න බව අපිට නිරීක්ෂණය වෙනවා.

එමෙන්ම ඔවුන් නීතියටත් විවිධ බලපෑම් කරමින් ඉන්න බව අපිට පේනවා. ආණ්ඩුවේ ප්‍රතිවාදීන්ට, විවේචනය කරන්නන්ට එක නීතියකුත් තමන්ගේ යාළු මිත්‍රයන් වෙනුවෙන් තව නීතියකුත් ක්‍රියාත්මක කරනවා. මේකේ ලොකුම විහිළුව තමයි එක රටක් එක නීතියක් කියල බලයට ආපු ආණ්ඩුව මේ වෙනකොට පැහැදිලිවම ජනතාවට එක නීතියක් සහ තමන්ගේ යහළු මිත්‍රාදීන්ට තව නීතියකුත් ක්‍රියාත්මක කිරීම. කොතලාවල පනතට එරෙහිව අරගල කළ දේශපාලන ක්‍රියාදරයින් පස්දෙනෙක් දින 100කට අධික කාලයක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තබාගෙන ඉන්නවා. ඒ වගේම පාස්කු ප්‍රහාරයට පිළිබඳ මතයක් ඉදිරිපත් කළ ආගමික නායකයින්ට තර්ජනය එල්ල කරමින් තිබෙනවා. සිරිල් ගාමිණි පියතුමන්ව අත්අඩංගුවට ගන්න ප්‍රශ්න කරන්න සූදානමක් තිබෙන බව ඔහුම ප්‍රකාශ කර තිබෙනවා. එහෙම වෙද්දී ඉතාම සීග්‍රයෙන් ආණ්ඩුවේ හිතවාදීන්ගේ සහ ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ නඩු ඉවත් වෙමින් තිබෙනවා. මේක බරපතල තත්වයක්. මෙයින් නීතිය අධිකරණය පිළිබඳ විශ්වාසය බිඳවැටෙනවා. මේ නඩු ගොනු කරන්නේ සාක්ෂි සහිතවයි. ආණ්ඩු වෙනස් වෙනකොට සාක්ෂි වෙනස් වෙන්නේ කොහොමද? එය ප්‍රහේලිකාවක්. මෙයින් ජාත්‍යන්තර ප්‍රතිරූපයටත් හානි වෙනවා. මේ නඩු මානව හිමිකම් උල්ලංඝනය වුනු විශාල කතාබහකට ලක්වුණු නඩුත් මේ වෙනකොට ඉල්ලා අස්කරගෙන තිබෙනවා.

ඒ වගේම පහුගිය කාලේ පොලිසිය ප්‍රසිද්ධියේ ජනතාවට පහර දෙන හිරිහැර කරන අවස්ථා අපි දකිනවා. පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්නයට වඩා අපි දකින්නේ මෙය නීතිය ක්‍රියාත්මක වන ව්‍යූහය කඩා වැටිලා තිබෙනවා යන්නයි. නීතිය ක්‍රියාත්මක කිරීමේදී සදාචාරවත් බවක් මානව හිමිකම් ආරක්ෂා කරන සංස්කෘතියක් පේන්න නැහැ. රාජ්‍ය ඇමතිවරයා කරන ප්‍රකාශවලින් මේ තත්වය තවත් උග්‍ර අතට හැරෙනවා. පොලිසිය සම්බන්ධ මානව හිමිකම් නඩු මාස 06ක් ඇතුළුත සම්පූර්ණ වුනේ නැත්නම් ඉවත් කරගන්නවා කියලා ඇමති කියනවා. මේ රටේ මොන නඩුවද මාස 06න් විමර්ශනය කළේ. ඒ නිසා මේ සංඥාවලින් සමාජයට මොකක්ද දැනෙන්නේ. නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන්ට දේශපාලන බලයට යට නොවී ක්‍රියාත්මක වෙන්න නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් යනවා. මේවා තුලින් ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න උත්සහ කරමින් තිබෙනවා.

අපි හිතනවා ජනතාව දැන් රැවටෙන යුගය නිමාකරමින් තිබෙනවා කියලා. ජනතාව මෑත ඉතිහාසයේ එනම් 2015දී සහ 2019දී පවතින දේශපාලනය ගැන විශාල විවේචනයක් සහිතව ආණ්ඩු මාරු කිරීමට එක්රැස් වුනා. ඒ අවස්ථා දෙකේදීම ආණ්ඩුවට රැවටුනා සහ ජනතාව හොඳටම පාවිච්චි වුනා කියන කාරණය දැන් සංවාදයට බඳුන් වෙලා. අපි හිතනවා නැවත වතාවක් එහෙම රවට්ටන්න පුළුවන් කමක් නැහැ කියලා. ජනතාවගේ ප්‍රතිචාරවලින් අපිට ඒ බව දැනෙනවා. මේ රටේ බහුතර ජනතාව ජාතිවාදයට හෝ අසාධාරණයට කැමැති නැහැ. ඒ දිශාවට තල්ලු කරන්නේ මේ රටේ දේශපාලකයෝ. නැවත වතාවක් අපි රවටන්න බැහැ කියන පණිවිඩය ජනතාව ඉතාම ශක්තිමත්ව ආණ්ඩුවට ලබාදිය යුතුයි. යැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් කියා සිටියාය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *