27 April 2024
#දේශීය

ව්‍යසනයක් තියෙද්දි ආණ්ඩුව තක්කඩිකම් කරන බව ජවිපෙ කියයි

කොරෝනා පිළිබඳව හැමෝගෙම අවධානය යොමු වී ඇති අවස්ථාවක ආණ්ඩුව කඩිමුඩියේ වරාය නගර ආර්ථික සංවර්ධන පනත සම්මත කරගන්න උත්සාහ කරන බව ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කර සිටි.

එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා මාධ්‍ය හමුවක් අමතමින් පවසා සිටියේ රට ඇතුළේ විශාල ව්‍යසනයක් තියෙද්දී ඒ තත්වය පාවිච්චි කරලා තක්කඩිකමට මේ පනත සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වන බවයි.

එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වු එම පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “මේ පනත ඉදිරිපත් කළ මොහොතේම ජනතා විමුක්ති පෙරමුණ හැටියට අපිත්, තවත් සංවිධාන ගණනාවක් සහ පුද්ගලයන් මෙයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. අධිකරණයේ තීන්දුව කථානායකතුමාට එවලා තියෙන්නේ. 18වැනිදා කථානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව දැනුම් දෙනවා. 19 සහ 20 දෙදින තුළ මේ පිළිබඳව විවාදයක් පවත්වා සම්මත කරගන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. රට ඇතුළේ විශාල ව්‍යසනයක් තියෙද්දී ඒ තත්වය පාවිච්චි කරලා තක්කඩිකමට මේ පනත සම්මත කරගන්න ආණ්ඩුව සූදානම් වෙනවා. ආණ්ඩුවට මේ ගැන කොච්චර හදිසියක් තියෙනවාද කියනවා නම් අධිකරණයේ තීන්දුව ලැබෙන්නත් කලින් දින දා ගෙන පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න උත්සාහ කළා. ජනතාව තුළ සංවාදයකට ලක්වෙන්න කලින් මේක සම්මත කරගන්න දැනුත් උත්සාහ කරන්නේ.

පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායක රැස්වීමේදී අපේ පක්‍ෂයේ නායක අනුර දිසානායක සහෝදරයා ඉතා පැහැදිළිව මේ සම්බන්ධයෙන් සමාජය තුළ සාකච්ඡාවට ඉඩ ලබාදෙන්න කියලා ඉල්ලා සිටියා. නමුත් 2/3 බලය පාවිච්චි කරලා ඒ ඉල්ලීම පැත්තකට දාලා සම්මත කරගන්න සූදානම් වෙනවා. පෝට් සිටි පනත කලබලයේ සම්මත කරගන්න ආණ්ඩුවට තියෙන තදියම මොකක්ද කියලා බරපතළ ප්‍රශ්නයක් ඇතිවෙනවා. අපේ රටේ ස්වෛරීත්වය ගැන, ස්වාධීනත්වය ගැන ගැටළු තියෙන මේ වගේ විශේෂ පනතක් සම්මත කර ගැනීමේදී ජනතාවගේ අදහස් දක්වන්න අවස්ථාවක් තියෙන්න ඕනෑ. නමුත් මේ මොහොතේදී ජන හමු තියන්න, සම්මන්ත්‍රණ තියන්න, පත්‍රිකාවක් බෙදන්න, සහ ජනමතයක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් නැහැ. ජනතාව බියට පත්වෙලා ඉන්නේ. එළියට බහින්නැතිව කොරෝනා සම්බන්ධයෙන් බයෙන් ඉන්න වෙලාවක සමහර දිස්ත්‍රික්කවලට ගං වතුරකුත් ඇවිල්ල තියෙන තත්වයක් තුළ ආණ්ඩුව බොරදියේ මාළු බාන්න උත්සාහ කරනවා.

මේ පනත නිවැරදි එකක් නම් ජනතාව තුළ සංවාදයක් වෙනුවෙන් ඉඩකඩ ලබාදීම ඇත්ත ප්‍රජාතන්ත්‍රවාදය. පක්‍ෂ, විපක්‍ෂ අදහස් දැක්වීමෙන් ජනතාවට අවබෝධයක් ගන්න පුළුවන් වෙනවා. මේ සම්බන්ධ අධිකරණ තීන්දුව තුළ මේ පනතේ වගන්ති කිහිපයක් හෝ සරල බහුතරයෙන් සම්මත කරගන්න බැරි වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ මොකක් වුණත් අධිකරණයේදී මේ පනත සම්බන්ධයෙන් විභාග වෙන්නේ ආර්ථික හානි, සංස්කෘතික හානි, ජාත්‍යන්තර බල අරගලය සහ අහිතකර වෙනත් කරුණු ගැන නෙවෙයි. මේ පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එකඟද නැද්ද කියන එක විතරයි බලන්නේ. අධිකරණය තුළ සාකච්ඡා වෙන්නේ නැති කාරණයක් මූලික වශයෙන්ම තීයෙනවා. ඒ තමයි අපේ රටේ ආර්ථිකයට, ස්වාධීනත්වයට, සංස්කෘතියට, අනාගත ආරක්‍ෂාවට බලපාන ආකාරය ගැන සංවාදය ඇතිවෙන්න ඕනෑ සමාජය තුළ. ඒකට ඉඩකඩ තියෙන්න ඕනෑ. නමුත් ආණ්ඩුව ඉතාම තක්කඩි විදිහට ඒ අවස්ථාව අහිමි කරලා කටයුතු කරනවා. මේකට ඉඩ දෙන්න එපා කියලා මේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා.

අපේ රටට අලුතින් එකතු කළ භූමියේ පාලනය සම්බන්ධයෙන් මේ පනත සම්මත වුණාට පස්සේ ආපහු හරවන්න බැහැ. මේක බරපතළ තීන්දුවක්. මේ ආණ්ඩුව රිවස් ආණ්ඩුවක් තමයි. ජනාධිපතිවරයාගේ බොහෝ ගැසට් රිවස් කරනවා. හැබැයි ගැසට් රිවස් කළාට මේ පෝට් සිටි පනත රිවස් කරන්න බැහැ. සම්මත කළොත් සම්මත කළාම තමයි. සම්මත කරන්න කලින් ජනතාවට අවබෝධ කර ගන්න ඉඩ හදන එක ඉතාම වැදගත්. ආණ්ඩුව ඒ කිසිවකට ඉඩ නොතබා ජනතාව වේදනාවට පත්වෙලා ඉන්න වෙලාවේ තක්කඩි විදිහට සම්මත කරගන්න යනවා. පාර්ලිමේන්තුවේ ඉන්න හෘදයසාක්‍ෂියක් තියෙන මන්ත්‍රීවරුන්ගෙන් අපි ඉල්ලනවා, මේකට විරුද්ධ වෙන්න කියලා. ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේකට විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා දිනවන්න කටයුතු කළ පිරිසක් දේශප්‍රේමයේ පේටන්ට් අයිතිය තියාගෙන ඉන්නවා. මේ අයට දැන් අවස්ථාව ඇවිල්ල තියෙනා තමන් ඇත්ත දේශප්‍රේමීන් නම් රටට හානිකරන මේ පනතට විරුද්ධව අත උස්සන්න කියලා අපි අභියෝග කරනවා. පාර්ලිමේන්තුව තුළ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන ඇත්ත දේශප්‍රේමීන් කියලා, ඇත්ත අධිරාජ්‍ය විරෝධීන් කියලා පෙන්වන ලෙස අපි බල කරනවා.

ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ පනතට විරුද්ධ වෙන්නේ කරුණු කිහිපයක් නිසා. මේ පනත විසින් අපේ රටේ ස්වෛරීත්වයට හානි කරනවා. මේ වෙනුවෙන් විශේෂ පාලනයක් පිහිටුවන්න යනවා. ඒක චීනෙට අයිති වෙනවා. අනෙක් පැත්තෙන් කළු සල්ලි සුදු කරන ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වෙනවා. මේ පනතෙන් පත් කරන කොමිෂන් සභාවට ජනාධිපතිවරයා විසින් නම් කරන සාමාජිකයන් ඇතුළත් වෙනවා. මේ පනතේ අවසානයේ ඉතා පැහැදිළිව “කොළඹ වරාය නගර බල ප්‍රදේශය තුළ අදාළ නොවන පනත් 07ක්” දක්වා තිබෙනවා. රටේ අනෙක් ප්‍රදේශවලට බල පවත්වන පනත් 07ක් මේ තුළ මුලුමනින්ම ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ කොටසක් බවට පත් වෙන්නේ නැහැ. ඒ පනත් අතර නාගරික සංවර්ධන අධීකාරී පනත, මහනගර සභා පනත, නගර සහ ග්‍රාම නිර්මාණ පනත, වගේම ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත, ඇතුළු පනත් 07ක් සම්පූර්ණයෙන්ම බලපැවැත්වෙන්නේ නැහැ. ඊට අමතරව තවත් පනත් 17ක් වෙනස් කිරීමට හෝ සංශෝධනය කිරීමට නම් කර තිබෙනවා. දේශීය ආදායම් පනත, එකතු කළ අගය මත බදු පනත, සුරා බදු පනත. මුදල් පනත් දෙකක්, රේගු ආඥා පනත වගේ පනත් මෙන්ම කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ පනතත් ඉවත් කරන්න හෝ සංශෝධනය කරන්න යෝජනා කර තිබෙනවා.

මේ අනුව අපේ රටෙන් වෙන් වෙච්ච වෙනම රටක් හදන බව අපි කියන්නේ ඒකයි. එක රටක්, එක නීතියක් කියපු ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා රටවල් දෙකක් නීති දෙකක් හදන්න මේ පනත සම්මත කරගන්නවා. මේ නිසා ලංකාව කලාපීය බල අරගලයේ ගොදුරක් බවට පත්වෙනවා. මේ කලාපයේ චීනයට එරෙහිව ඇමරිකාව, ඉන්දියාව, ඕස්ටේ්‍රලියාව සහ ජපානය ක්‍රියාත්මක වෙනවා. ඔවුන් අතර චීනයට එරෙහි අප්‍රකාශිත යුද්ධයක් තියෙනවා. ඒකට අපේ රට ගොදුරු වුණාම මේ පනත මගින් අනවශ්‍ය ලෙස බරපතළ ගැටළුවකට අනාගතයේ ඇද දැමීමට සැරසෙනවා. නොබැඳි පිළිවෙත අනුගමනය කරනවා වෙනුවට අනාගතයේ විසඳා ගන්න බැරි ගැටළුවලට මැදි කරනවා. අපේ රට ණයට කන රටක් හැටියට බිලියන 15,000කට වැඩිය ණය වෙලා තියෙනවා. කොච්චර ණය ගන්නවාද කියනවා නම් කොරෝනා වසංගතය පාලනය කරන වැක්සීන් එක ගෙන්වා ගන්න සල්ලි නැතිව ඩොලර් මිලියන 80.5ක් ලෝක බැංකුවෙන් ගන්න අත්සන් කරලා තියෙනවා. දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 500ක ණයක් පහුගිය සතියේ ගත්තා. පුංචි ගණන්වල සිට ලොකු ගණන් දක්වා ණය ගන්න රටක් ලෝක බල අරගලයේ එක් පාර්ශ්වකරුවෙකු වන චීනයට වැඩි ඉඩක් ලබාදීමෙන් අනාගතයේ මහත් ව්‍යසනයක් ඇති වෙනවා.

ආණ්ඩුවේ උපායමාර්ගවල වැරැද්ද නිසා වගේම කොරෝනා සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ විශේෂඥයන් ලබාදෙන උපදෙස් නොතකා අත්තනෝමතික ලෙස කටයුතු කිරීම නිසා දැන් තුන්වැනි රැල්ලක් ඇතිවී තිබෙනවා. බැසිලර් රාජපක්‍ෂ මහත්තයාම කිව්වේ යුකේ්්‍රන් සංචාරකයන් ගෙනාවේ ඔවුන්ගෙන් කොරෝනා බෝ වෙනවාද කියලා අත්හදා බලන්න කියලා. ඒ නිසා මේ වෙනකොට ලෝකයේ තිබෙන කොරෝනා ප්‍රභේදවලින් බ්‍රසීල ප්‍රභේදය හැර අනෙක් ප්‍රභේද සියල්ලම රට තුළට ගෙන්වාගෙන තියෙනවා. රට තුළ භයානක අන්දමේ ආසාධිතයන් වැඩිවෙනවා. ගම්පහ රෝහලේ ස්වසන ආබාධවලට ප්‍රතිකාර ගන්න පැමිණෙන රෝගීන් යොමුකළ පරීක්‍ෂණවලින් 80%කටම වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වුණා. රෝගීන්ට ඉන්න හිටින්න නැති වෙලා. හැබැයි ආණ්ඩුව තවමත් රෝගීන් අඩුකර ගන්නවා වෙනුවට රෝගීන්ට ඉන්න තැන් හදන එක ගැන කතා කරනවා. එක වෙලාවක හමුදාපතිවරයා “අපි කිසි කෙනෙකුට පාරේ මැරෙන්න දෙන්නෑ හැම දෙනාටම ඇඳන් හදලා දෙනවා” කියලා කීවා. මෙතැන තියෙන්නේ ඇඳන් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි කියලා අපි පැහැදිළි කළා. මේ රෝගය නිසා දැඩි සත්කාර ඒකකවලට ඒ විශේෂිත ඇඳන් ඕනෑ වෙලා තියෙනවා. අනෙක් ඇඳන්වලින් වැඩක් වෙන්නේ නැහැ.

රාජ්‍ය ඇමතිනි, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පහුගිය දවසක තත්වය බරපතළ නිසා දානපතියෝ ආධාර කරන්න කියලා ඉල්ලීමක් කළා. දැන් දානපතියන්ගෙන් ආධාර ඉල්ලන අතර කොවිඩ් අරමුදලට මොකද වුණේ කියලා ප්‍රශ්නය තියෙනවා. මේ ගොල්ලන්ට අරමුදල් කියන්නෙ ඉතාම බරපතළ දෙයක්. සුනාමි අරමුදලෙන් ගසා කෑවා. දැන් කොවිඩ් අරමුදලට වෙච්ච දෙයක් නැහැ. රාජ්‍ය ඇමතිවරියට දානපතියන්ගෙන් උදව් ඉල්ලන්න වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් නාස්තියත් විශාල වශයෙන් සිදු කරනවා. නාමල් රාජපක්‍ෂ මහත්තයා රට තුළ ජිම් 500ක් හදාගෙන යනවා. මේ වෙලාවේ ප්‍රමුඛතාවය දෙන්න ඕනෑ මොනවාද කියලාවත් හිතන්නේ නැහැ. දැන් ආණ්ඩුව කියන්නේ බරපතළ රෝග ලක්‍ෂණ පෙන්වන්නේ නැති ආසාධිතයන් ගෙදර ඉන්න කියලා. හමුදා කඳවුරු, හෝටල්, අරගන්නවා කී කතා ඔක්කොම පැත්තක දාලා. බරපතල රෝග ලක්‍ෂණ නැත්නම් ගෙදර ඉන්න කියන තත්වයට පත් වෙලා. ගෙදර රෝගියෙක් ඉන්නකොට අනෙක් අය ආරක්‍ෂා වෙන්න ඕනෑ. කෑම බීම ලැබෙන්න ක්‍රමයක් තියෙන්න ඕනෑ. මේ කිසිවක් නැතිනිසා බරපතල අවුලක් කෙරෙනන්නේ. කොරෝනා පාලනය කිරීම මුලුමනින්ම අසමත් වුණු ආණ්ඩුවක් මේ විපත අස්සේ ආණ්ඩුවේ පටු දේවල් කරගන්න උත්සාහ කරමින් ඉන්නවා.

පෝට් සිටි පනත සම්මත කරගන්නේ එහෙම. ඊට අමතරව ජොන් කොතලාවල විශ්වවිද්‍යාල පනත කියලා පනතකුත් ගේන්න යනවා. අධ්‍යාපනය විකිණීමට හොර පාරෙන් මේවත් කරගෙන යනවා. අනෙක් පැත්තෙන් අත් අඩංගුවේ ඉන්න අපරාධ සම්බන්ධ සැකකරුවෝ ඝාතනය කරනවා. පොලීසියේ රඳවාගෙන හිටි සැකකරුවන් දෙන්නෙක් පිට පිටම ඝාතනය කළා. සැකකරුවන් පොලීසිය භාරේ ඉන්නවා කියන්නේ ඔවුන්ගේ වගකීම තියෙන්නේ රජයට. ඔවුන්ව ඝාතනය කර ටෙලිනාට්‍ය පිටපත වගේ ආයුධ පෙන්වන්න ගියා කියන එකෙන් පොලීසියත් හෑල්ලුවට ලක්කරනවා. එහෙම නම් ආණ්ඩුව අර බොරු කතන්දරය නොකියා ආණ්ඩුව කරන දේ කෙලින් කියන්න ඕනෑ. මේ බරපතලකම සමහර ජනතාවට තේරෙන්නේ නැහැ. අපරාධකරුවන්ට දඬුවම් දෙන්න ඕනෑ කියන ස්ථාවරයේ අපිත් ඉන්නවා. දඬුවම් දෙන්න ඕනෑ අධිකරණ ක්‍රියාවලියක් තුළින්. හැබැයි ඒ ක්‍රියාවලියට පිටින් පොලීසියෙන් වෙඩි තියලා මරණවා නම් එතැන සැඟවීමට යමක් තියෙනවා. ඔවුන්ගෙන් හෙළිදරව් වෙලා තියෙන දේවල් සමාජයට එන එක වළක්වන්න වෙඩි තියලා මරණවා කියලා අපි විශ්වාස කරනවා. මේ බොහෝ දෙනා දේශපාලන නායකයින්ගේ අතකොළු. මේ අය තමන් දන්න දේවල් වමාරනකොට ආණ්ඩුවේ නායකයින්ගේ කැරැට්ටුව බේරගන්න සාක්‍ෂි මරා දැමීමක් සිදුකරනවා.

මේ ආණ්ඩුව කරමින් ඉන්නේ තමන්ට විරුද්ධ අපරාධකරුවන් මරණ එක. තමන්ට පක්‍ෂ අය ආරක්‍ෂා කරනවා. අධිකරණ නියෝග මත නඩු අහලා දඬුවම් නියම කළ අය පවා ආණ්ඩුවට පක්‍ෂයි නම් නිදහස් කරගන්නවා. පහුගිය කාලයේ අධිකරණයේ දඬුවම් කළ අයට සමාව දුන් හැටි අපි දැක්කා. ඒ වගේම අධිකරණයේ නඩු අහමින් සිටි අයගේ නඩු ඉල්ලා අස්කර ගත්තා. ළමුන් 11දෙනෙක් පැහැරගෙන ඝාතනය කිරීමේ චෝදනා තිබුණු අය එළියට දැම්මා. අපරාධ කළ අය ආණ්ඩුවේ නම් මේ විදිහට නිදහස් කර ගන්නවා. මේ ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕනෑ. අපි ඉන්නේ අපරාධකරුවන්ගේ පැත්තේ නෙවෙයි. ඒ අයට දඬුවම් කරන්න ඕනෑ වගේම ඒ අය පිටිපස්සේ ඉන්න අයටත් දඬුවම් කරන්න ඕනෑ. ආණ්ඩුවට විරුද්ධ ඕනෑ කෙනෙක් ආයුද පෙන්වන්න ගිහිල්ලා ඝාතනය කරන්න පුළුවන් බව මතක තියා ගන්න. කොරා්නාවලට බියෙන් ජනතාව ඉන්න අතරේ මේ වගේ කටයුතු ආණ්ඩුව සිදුකරමින් ඉන්නවා.

පෝට් සිටි පනත ගේන්නේ මේ වගේ පසුබිමක් තුළ. මේ භූමිය අපිට අයිති නැති චීනයට අයිති රාජ්‍යයක් බවට පත්වෙනවා. ජාවාරම්කරුවන්ගේ තිප්පොළක් බවට පත්වෙනවා. කලාපීය බල අරගලයේ ගොදුරක් බවටත් පත් කෙරෙනවා. මේ බරපතළ හාණි වළක්වා ගන්න එක රටේ පුරවැසියන්ගේ වගකීමක්. ඒ වෙනුවෙන් ජනතාවගේ ජනමතය ප්‍රකාශ කරන්න තිබෙන මාර්ග සියල්ලක්ම ඇහිරිලා තියෙන වෙලාවක ආණ්ඩුව තක්කඩි විදිහට මේ පනත සම්මත කරගන්න යනවා. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා මේ තක්කඩි වැඩේ කරන්න එපා කියලා. අපි ජනතාවට අවධාරණය කරනවා මේ පනතට එරෙහි වෙන්න කියලා. ආණ්ඩුව මේ වැඩේ නවත්වන්නේ නැත්නම් ආණ්ඩුව පරාජය කිරීම දක්වා යන සාමූහික ක්‍රියාවලියකට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ආණ්ඩුව මේ කරමින් යන්නේ අපේ මාතෘභූමියට කරන්න පුළුවන් ලොකුම අපරාධය. ඒනිසා පෝට් සිටි පනත සම්මත කිරීම වළක්වන්න කියලා නැවතත් පාර්ලිමේන්තුවේ ඉන්න සැබෑ මහජන නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිනවා.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *