27 April 2024
#දේශීය

මෙරට ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තයයි – අගමැති

විදෙස් විනිමය ඉපැයීම තුළින් ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කළ හැකි ප්‍රභලතම ක්ෂේත්‍රය සංචාරක කර්මාන්තය බැවින් එහි අභිවෘද්ධිය වෙනුවෙන් නවමු පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ජෙට්වින්ග් හෝටල් සමූහයට අයත් මීගමුව Blue Oceanic Beach හෝටලයේ ස්වර්ණ ජයන්ති උත්සවය අමතමිනි.

අගමැතිවරයා එහිදී මෙසේ අදහස් පල කලේය ” සංචාරකයන්ට සිතැඟි පරිදි විද්‍යුත් ගෙවීම් ක්‍රමවලින් ගෙවීමට පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට මූල්‍ය අංශය සහ මහ බැංකුව සමඟ එක්ව කටයුතු කිරීමේ හැකියාව කෙරෙහිද අවධානය යොමුකළ යුතුව ඇත. අපි මේ මොහොතේ ජාත්‍යන්තර ක්‍රෙඩිට් කාඩ්පත් භාවිය දිරිමත් කරනවා සේම, ආසියානු දැවැන්තයන් ලෙස සලකන රටවලින් පැමිණෙන සංචාරකයින්ට තවදුරටත් පහසුකම් සැළසීම හරහා ඔවුන්ගේ පැමිණීම දිරිමත් කළ යුතුයි. ප්‍රාදේශීයව ආහාර නිෂ්පාදනය දියුණු කිරීම සඳහා ප්‍රජාවන් සමඟ සම්බන්ධ වූ හෝටල් පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රශංසාව පළ විය. ඒ වෙනුවෙන් සංචාරක ආකර්ෂණයෙන් යුතු ස්ථාන අවට වෙසෙන ප්‍රජාවට කෙටි කාලීනව වගා කිරීම සඳහා වැඩි ඉඩම් ප්‍රමාණයක් ලබා දීමට ඉඩම් අමාත්‍යවරයා ද වන සංචාරක අමාත්‍යතුමා එකඟ වනු ඇතැයි තමා විශ්වාස කරයි. අපේ ලොකුම ධනය අපේ මානව සම්පතයි. අපි නිවැරදිව ආයෝජනය කළ යුත්තේ එයයි. මීට වසර 50 කට පෙර හර්බට් කුරේ මහතා පවුලේ ව්‍යාපාරයක් ලෙස ආරම්භ කළ හෝටල් ව්‍යාපාරය තරුණ තරුණියන් සඳහා ව්‍යාප්ත කිරීමට පටන් ගත් විට එය වර්ධනය වූ අතර අද එය ලෝක මට්ටමේ සන්නාමයක් බවට පත් කර ඇත්තේ ඔබ සියලු දෙනාම යි” යැයි අගමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, ජෙට්වින්ග් සභාපති හිරාන් කුරේ, අභාවප්‍රාප්ත හර්බට් කුරේ මහතාගේ බිරිඳ මැණිකේ කුරේ, අධ්‍යක්ෂ ශිරෝමාල් කුරේ යන මහත්ම මහත්මීන් ඇතුළු හෝටල් ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නියෝජිතයන් එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *