27 April 2024
#දේශීය

ගැබිණි ගුරුවරුන් ගෙන්වීම තුළ ආණ්ඩුව අපහසුතාවයට පත්වන බව ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය පවසයි

එන්නත් දෙවන මාත්‍රාවත් ලබා දී ගුරුවරයා සෞඛ්‍යාරක්ෂිත කෙනෙකු බවට පත් කර ක්‍රමානුකූලව පාසල් විවෘත කිරීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ස්ථාවරය වී තිබියදී අමාත්‍යාංශ ලේකම්වරයා ගැබිණි ගුරු මාතාවන්ට පවා පාසලට පැමිණීම අනිවාර්ය කෙරෙන චක්‍රලේඛයක් නිකුත් කළේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න ද යැයි ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරය ප්‍රශ්ණ කර සිටි.

එම සංවිධානය ඊයේ (03) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී එහි ප්‍රධාන ලේකම් ඉන්දික කළුආරච්චි මහතා කියා සිටියේ කොවිඩ් වසංගත අවදානම පහව නොගොස් තිබියදී සෞඛ්‍ය මාර්ගෝපදේශවලට කන් නොදී කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය නොකරමින් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවයට කැඳවීමෙන් ‘ගුරු පොකුරු’ නිර්මාණය විය හැකි බවටත් එසේ වුවහොත් ඉදිරි මාසයේ දී හෝ පාසල් පද්ධතිය නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ විවෘත කිරීමට තිබෙන ඉඩකඩ ඇහිරෙන බවයි.

මෙවැනි තීන්දු ගෙන ගුරුවරයා සහ ආණ්ඩුව අතර අනවශ්‍ය ගැටුමක් නොසාදා මෙම චක්‍රලේඛය අහෝසි කිරීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කළ යුතු බවත් එසේ නොවුවහොත් මෙම තත්ත්වය දඩමීමා කරගනිමින් අවස්ථාවාදී දේශපාලන කල්ලි කණ්ඩායම් ගුරුවරයා තම බල උවමනාවේ ගොදුරක් කර ගැනීමට මඟ පාදා ගනු ඇති බවත් ජාතික නිදහස උදෙසා ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම්වරයා පෙන්වා දෙයි.

එසේම වත්මන් ආණ්ඩුව, වසර 24ක් තිස්සේ නොවිසඳී ඇති තම ගැටළුවට සාධනීය විසඳුම් ඉදිරිපත් කරමින් සිටියදී සහ ආණ්ඩුවේ ඇතැම් පාර්ශ්ව මෙම වෘත්තීය අරගලය දෙස සුබවාදීව බලමින් සිටියදී, ආණ්ඩුව අභ්‍යන්තරයේම සිටින තවත් පිරිස් ගුරුවරයාගේ අභිමානයට නිගා කරමින් ගැටුමක් නිර්මාණය වන සේ කටයුතු කිරීම කණගාටුවට කරුණක් බව ද ඒ මහතා සඳහන් කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *