27 April 2024
#දේශීය

නිවැරදි දේ කරන්න නීතියෙන් බාධාවක් නෑ – ජනපති 

ඉලක්කගත ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමේ දී ජාතික අවශ්‍යතාව පමණක් සැලකිල්ලට ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අනාගතය වෙනුවෙන් සැලසුම් කර ඇති ව්‍යාපෘති ප්‍රමාද වීමෙන් ලෝකය ඉදිරියේ රට වසර ගණනාවකින් දැවැන්ත පසුබෑමකට ලක්වන බව ජනාධිපතිවරයා කියා සිටී.

කොළඹ 07, ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය අද (18) පෙරවරුවේ හදිසි නිරීක්ෂණයට ලක් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

2007 අංක 35 දරණ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරී පනත මගින් මෙම අධිකාරිය පිහිටවනු ලැබීය.

ශ්‍රී ලංකාව පුරා බලශක්ති කාර්යක්ෂතවාව ඉහළ නැංවිය හැකි ප්‍රධාන ආයතනයක් ලෙස කටයුතු කිරීම, ඵලදායී, කාර්යක්ෂම හා පරිසර හිතකාමී ලෙස බලශක්ති අවශ්‍යතා සපුරාලීමට පහසුකම් සැපයීම, තිරසාර බලශක්ති සම්පත් කල්තියා හඳුනාගැනීම සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අරමුණු වේ.

බලශක්ති අධිකාරියේ ඉල්ලුම් පාර්ශ්වීය කළමනාකරණ, පර්යේෂණ, උපායමාර්ග, බලශක්ති කළමනාකරණ අංශ වෙත ගිය ජනාධිපතිවරයා එහි කාර්යභාර්යයන් සහ සැලසුම් පිළිබඳ නිලධාරීන්ගෙන් විමසීය.

විදුලිබල උත්පාදනයට ජල, සූර්ය, සුළං සහ ජෛව ස්කන්ධ වැනි පුනර්ජනනීය ප්‍රභවයන් යොදාගැනීමට ඇති හැකියාව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් හමු වී විමසා බැලීම, ජනාධිපතිවරයාගේ චාරිකාවේ අරමුණ විය.

නීති පවතින්නේ දූෂණ සහ අක්‍රමිකතා මැඩ පැවැත්වීමට බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නිවැරදි දේ සිදු කිරීමේ දී නීතිය බාධාවක් නොවන බව පැවසීය. හරි දේ කළත්, එය ද වැළැක්වීමට සමහර කණ්ඩායම් විවිධ උපක්‍රම යොදාගනී. ඒවාට කිසිඳු ඉඩක් නොතැබිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

විදෙස් ආයෝජන සඳහා මෙරට බලශක්ති ක්ෂේත්‍රයේ ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය. නිවාස ලක්ෂයක වහළ මත සූර්ය පැනල සවිකීරිමේ ව්‍යාපෘතිය කඩිනම් කර එහි ප්‍රතිලාභ අඩු ආදායම්ලාභීන්ට ද සලසන ලෙස රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ජනාධිපතිවරයා විසින් උපදෙස් දෙනු ලැබිණ.

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක සපුරා ගැනීමේ දී පනතේ ඇති අඩුපාඩු නිවැරදි කිරීමට, විදුලිබල මණ්ඩල පනත සංශෝධනයට අවශ්‍ය කටයුතු සියලු පාර්ශ්වයන් එක්ව සකස් කොට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කඩිනම්ව ක්‍රියා කරන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාරව 2030 වන විට සමස්ත විදුලිබල උත්පාදනයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් උත්පාදනය රජයේ අරමුණයි. රට තුළ උද්ගතව ඇති වත්මන් බලශක්ති අර්බුදයට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් දායක කරගැනීමට ඇති හැකියාව මෙහිදී විමසුමට ලක් කෙරිණ.

2021 වන විට පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් මෙගා වොට් 1,258ක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති රංජිත් සේපාල මහතා සඳහන් කළේය.
ඒ අනුව ජෛවස්කන්ධවලින් මෙගාවොට් 54ක්, කුඩා ජල ව්‍යාපෘතිවලින් මෙගාවොට් 429ක්, සොලාර්පැනල වලින් මෙගාවොට් 506ක්, සුළංවලින් මෙගාවොට් 249ක් ලෙස ඉලක්ක සපුරා ගැනීමට සැලසුම් කර ඇති බව ද ඒ මහතා කියා සිටියේය.

2030 වන විට සමස්ත විදුලි උත්පාදනයෙන් 70%ක රජයේ ඉලක්කය පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීම අපහසු ඉලක්කයක් නොවන බව සභාපතිවරයා පෙන්වා දෙනු ලැබීය.
ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් කේ.එච්.ඩී.කේ. සමරකෝන්, විදුලිබල මණ්ඩලයේ උප සභාපති නලින්ද ඉලංගකෝන්, වැඩබලන සාමාන්‍යාධිකාරී රොහාන්ත අබේසේකර යන මහත්වරු ඇතුළු සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *