මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් රුපියල් ලක්ෂ 850කට අධික නීති විරෝධී මුදලක් උපයාගෙන එමඟින් නිවාස සහ දේපළ මිලදී ගත් වින්දනී ප්‍රියදර්ශිකා සූරියආරච්චි හෙවත් “තොටළඟ පොඩ්ඩි” නමැත්තිය ලබන 17 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (14) නියෝග කළේය. මුදල් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මඟින් ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. සැකකාරිය ජාඇල, ග්‍රෑන්ඩ්පාස් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල මිලදී ගෙන තිබූ නිවාස සහ ඉඩම් දේපළ මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියා විරහිත කර ඇති අතර, ඇයගේ බැංකු ගිණුම් 6ක්ද අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.














