බ්‍රසීල ජාතිකයෙකු රඳවා තබාගෙන රුපියල් ලක්ෂ 30ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයින් තිදෙනෙකු උණවටුන සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ගාල්ල, තල්පේ ප්‍රදේශයේ නවාතැන්පොළක රැඳී සිටි බ්‍රසීල ජාතිකයා වෙත පැමිණි සැකකරුවන් දෙදෙනෙකු තමන් සංචාරක පොලිස් නිලධාරීන් බව පවසා කාමරය පරීක්ෂා කර, විදේශිකයා සතු ගමන් බලපත්‍රය, ඇමරිකානු ලේඛන සහ ජංගම දුරකථන බලහත්කාරයෙන් ලබාගෙන ඇත. පසුව එම ස්ථානයට තවත් පුද්ගලයෙකු ද පැමිණ තිදෙනා එක්ව විදේශිකයාට මාංචු දමා බියගන්වා, අත්අඩංගුවට ගැනීමෙන් බේරීමට කොළඹ පොලිස් ප්‍රධානියෙකුට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ 30ක් ලබා දිය යුතු බව පවසා ඇත.
සැකකරුවන් එම විදේශිකයාගෙන් රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා ගෙන ඇති අතර, ඉතිරි ලක්ෂ 28 වහාම ලබා දෙන ලෙස තර්ජනය කර ඇත. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව උණවටුන සංචාරක පොලිස් ඒකකය විසින් සිදු කළ ක්ෂණික මෙහෙයුමකින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
සැකකරුවන් 25 සහ 26 වයස්වල පසුවන්නන් වන අතර, අපරාධය සඳහා භාවිතා කළ ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් සහ නඩු භාණ්ඩ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර උණවටුන සංචාරක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















