ශ්‍රී ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු තුන වන ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව 2025 වසර සඳහා සිය ඉතිහාසයේ ඉහළම ලාභාංශ වාර්තා කර තිබේ. මෙම බැංකුවල 2025 වාර්ෂික වාර්තා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ජනාධිපති කාර්යාලයේදී අද (අප්‍රේල් 20) පිළිගන්වන ලදී.
රජයේ ආර්ථික ප්‍රතිපත්ති සමඟ සමගාමීව සැලසුම් සහගතව සහ ඉහළ මූල්‍ය විනයකින් කටයුතු කිරීම මෙම සුවිශේෂී මූල්‍ය ජයග්‍රහණවලට පදනම වූ බව බැංකු සභාපතිවරු මෙහිදී පෙන්වා දුන්හ.
වසර 87ක සිය ඉතිහාසයේ ඉහළම ලාභය වාර්තා කිරීමට ලංකා බැංකුව සමත්ව ඇත. එය සියලු බදුවලට පෙර රුපියල් බිලියන 120.8ක් වන අතර, බදු වශයෙන් රුපියල් බිලියන 77ක මුදලක් රජයට ගෙවා ඇති බව සභාපති කාවින්ද ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
මහජන බැංකුව ද සිය ඉතිහාසයේ වැඩිම ලාභය 2025 වසරේදී සනිටුහන් කර තිබේ. බදු වලට පෙර ලාභය රුපියල් බිලියන 64.4ක් වූ අතර බදු ගෙවීමෙන් පසු ලාභය රුපියල් බිලියන 40ක් වූ බව සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව සියලු බදුවලට පෙර රුපියල් බිලියන 59ක වාර්තාගත ලාභයක් උපයා ඇති අතර, රජයේ මහා භාණ්ඩාගාරයට ලාභාංශ ලෙස රුපියල් බිලියන 6ක මුදලක් ලබා දී ඇති බව සභාපති ආචාර්ය හර්ෂ කබ්රාල් මහතා සඳහන් කළේය.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම සහ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ. මෙම මූල්‍ය ස්ථාවරත්වය හරහා ඉදිරියේදී මෙරට ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට රාජ්‍ය බැංකු පද්ධතියෙන් ලැබෙන දායකත්වය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.














