පානදුර – හොරණ මාර්ගයේ අල්ළුබෝමුල්ල පොලිස් වසමට අයත් කුරුස හංදිය ප්‍රදේශයේදී අද (20) සවස කැන්ටර් වර්ගයේ ලොරි රථයක්, සුඛෝපභෝගී ජීප් රථයක් සහ මෝටර් රථයක් එකිනෙක ගැටීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ. අනතුරින් තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ එහි සහායකයා වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇත.
බණ්ඩාරගම දෙස සිට පැමිණි කැන්ටර් වර්ගයේ ලොරි රථය ඉදිරියෙන් වූ වාහන පසුකර යෑමට උත්සාහ කිරීමේදී පාලනයෙන් තොරව දකුණු දෙසට ඇදී ගොස් ජීප් රථයේ ගැටී ඇති අතර, ඒ සමඟම පිටුපසින් පැමිණි මෝටර් රථයේ ද ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ. සිද්ධිය හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබුණි.
















