මුම්බායි ඉන්ඩියන්ස් පිතිකරු තිලක් වර්මා, ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩක සනත් ජයසූරිය සතුව තිබූ වසර 18ක් පැරණි වාර්තාවක් ඊයේ (අප්‍රේල් 20) සම කිරීමට සමත් විය. ඒ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 45කින් වේගවත් ශතකයක් රැස් කරමිනි.
තම ඉනිමේ මුල් භාගයේදී පන්දු 22කදී ලකුණු 19ක් ලබා ගනිමින් මන්දගාමීව ක්‍රීඩා කළ වර්මා, ඉන් අනතුරුව දැවැන්ත ප්‍රහාරයක නිරත විය. ඔහු සිය ඉනිමේ අවසන් ලකුණු 81 රැස් කිරීමට වැය කළේ පන්දු 23ක් පමණි. පන්දු 45කදී නොදැවී ලකුණු 101ක් ලබාගත් ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් ඇතුළත් විය.
මීට පෙර IPL ඉතිහාසයේ මුම්බායි ඉන්ඩියන්ස් ක්‍රීඩකයෙකු රැස් කළ වේගවත්ම ශතකය ලෙස සටහන් වූයේ 2008 වසරේදී සනත් ජයසූරිය පන්දු 45කදී රැස් කළ ශතකයයි. තිලක් වර්මා ඊයේ සම කළේ එම වාර්තාවයි.
තිලක් වර්මාගේ මෙම ඉනිම හේතුවෙන් මුම්බායි කණ්ඩායම ලකුණු 199ක් රැස් කළ අතර, ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ලකුණු 100කට සීමා කරමින් ලකුණු 99ක විශිෂ්ට ජයක් ලැබීමට ද ඔවුන් සමත් විය. මෙම ජයග්‍රහණය මුම්බායි කණ්ඩායම පිටපිට ලැබූ පරාජයන් හතරකට පසුව ලැබූ පළමු ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි.














