මාස තුනක් මුළුල්ලේ පවතින දැඩි නියං තත්ත්වය සහ අවසාන ජල මුරය ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඉඳිගහවැව ග්‍රාම නිලධාරී වසමේ පිහිටි වගයාකුලමවැව යටතේ වගාකළ අක්කර 50ක් පමණ වූ කුඹුරු යායක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි ගොවීහු පවසති.
බණ්ඩි ගොයම් අවස්ථාවේදී ජලය හිඟවීම නිසා ගොයම් ගස් වියළී ගොස් ඇති අතර වී කරල්වල ඇට බොල් වී මුළු යායම මැරීගොස් ඇතැයිද ගොවීහු පවසති. මේ තත්ත්වය වසර 30කට පමණ පසුව වාර්තා වූ දරුණුතම වගා හානිය බව ප්‍රදේශවාසීහු කියති.
ප්‍රදේශයේ වගයාකුලම වැවේ ජලය සම්පූර්ණයෙන්ම සිඳී යෑම නිසා වගාවට අවශ්‍ය අවසන් දියමුර ලබා දීමට නොහැකි වී ඇත. විකල්පයක් ලෙස ඇතැම් ගොවීන් කුඹුරු ආශ්‍රිතව ළිං කපා ජලය ලබා ගැනීමට උත්සාහ කළද, පවතින වියළි කාලගුණය හමුවේ එම උත්සාහයන්ද අසාර්ථක වී තිබේ.
මෙවර යල කන්නයේ වගාකර ඇති මුළු අක්කර 70ක පමණ වගා භූමියෙන් අක්කර 50ක්ම සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර වැව් බැම්ම ආසන්නයේ තිබූ අක්කර 20ක පමණ ප්‍රමාණයකට පමණක් යම් තරමක අස්වැන්නක් ඉතිරි වී ඇත.
තමන්ගේ රත්තරන් බඩු පවා උකස් කරමින් විශාල පිරිවැයක් දරා ආරම්භ කළ මෙම වගාව සම්පූර්ණයෙන්ම විනාශ වීම නිසා ගොවි ජනතාව දැඩි අර්බුදයකට ලක්ව ඇති බවද ගොවීහු පවසති.
මෙසේ අඩපණ වූ ගොයම නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි බැවින්, තමන් පත්ව සිටින දැඩි අසරණභාවයෙන් ගොඩ ඒම සඳහා බලධාරීන්ගේ අවධානය යොමු වී සහනයක් ලබාදෙන ලෙස ගොවීහූ ඉල්ලා සිටიති.













