තිස්සමහාරාම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ඇත්දළවලින් සකසන ලද ආභරණ සන්තකයේ තබාගෙන සිටි 46 හැවිරිදි සැකකරුවෙකු වනජීවී නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
උඩවලව ජාතික උද්‍යානයේ උද්‍යාන භාරකරුට ලද තොරතුරකට අනුව පසුගිය 16 වන දින සිදුකළ මෙම වැටලීමේදී, ඇත්දළවලින් සකස් කරන ලද අත්පළඳනා 02ක් සහ පෙන්ඩන්ට් 02ක් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂය බැගින් වූ ඇප දෙකක් මත මුදාහැර ඇති අතර, නඩුව නොවැම්බර් 20 වන දින නැවත කැඳවීමට නියමිතය. පනහඩුව අඩවි ආරක්ෂක කාර්යාලයේ වනසත්ත්ව අඩවි ආරක්ෂක කේ.ඩී. නදීෂ මුතුකැළුම් මහතා ඇතුළු වනජීවී නිලධාරී කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ. වනසත්ත්ව හා වෘක්ෂලතා පනතට අනුව ආරක්ෂිත වනසතුන්ගේ කොටස් සන්තකයේ තබාගැනීම හෝ විකිණීම තහනම් වේ.
















