මෙරට පරම්පරා ගණනාවක් පුරා සුරැකෙමින් පැවත එන පාරම්පරික වෛද්‍ය දැනුම, වෛද්‍ය පරම්පරා, ප්‍රතිකාර ක්‍රම හා සම්ප්‍රදායන් විධිමත් ලෙස ලේඛනගත කර සංරක්ෂණය කරමින් අනාගත පරපුර වෙත සුරක්ෂිතව දායාද කිරීමේ වැදගත් පියවරක් ලෙස **TMK පරිගණක මෘදුකාංගය** එළිදැක්වීම පසුගියදා (18) බණ්ඩාරනායක අනුස්මරණ ආයුර්වේද පර්යේෂණායතන පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙහිදී එම පර්යේෂණායතනය සතු අනුලේඛීය වටිනාකමකින් යුත් පුස්කොළ පොත් කාණ්ඩ 10ක් එළිදැක්වීම මෙන්ම, පෞරාණික කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය කිරීම සඳහා නිර්මාණය කළ සාහිත්‍ය පර්යේෂණ අංශයේ කෞතුකාගාරය විවෘත කිරීමද සිදුවිය.
දේශීය වෛද්‍යවරුන් පිළිබඳ සංගණනයක් සිදුකර ඔවුන් සතු වෛද්‍ය දැනුම හා පරම්පරාගත තොරතුරු විධිමත් ලෙස පරිගණකගත කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ වේ. එම දත්ත පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරම්පරික වෛද්‍ය පරම්පරා සහ එම පරම්පරාවන්ට ආවේණික වූ වෛද්‍ය සම්ප්‍රදායන් පිළිබඳ ජාතික ලේඛනයක් සහ අන්තර්ජාල පද්ධතියක් ස්ථාපිත කිරීමද මෙහි අරමුණකි.
මෙමඟින් පුද්ගල මතකය සහ සීමිත ලිඛිත මූලාශ්‍ර මත පමණක් රඳා පැවති වටිනා වෛද්‍ය දැනුම නවීන තාක්ෂණය ඔස්සේ විධිමත් දත්ත පද්ධතියකට එක් කරමින් අනාගත පරපුර වෙත සුරක්ෂිතව සම්ප්‍රේෂණය කිරීමට සහ විද්‍යාත්මක පර්යේෂණ සඳහා පදනමක් සැකසීමට හැකියාව ලැබේ. එමෙන්ම, මෙරට වෛද්‍ය ඉතිහාසය හා බුද්ධිමය උරුමය පිළිබඳ අගනා සාක්ෂි වන පුස්කොළ පොත් සංරක්ෂණය කිරීම සහ නව කෞතුකාගාරය විවෘත කිරීම හරහා මහජනතාවට, වෛද්‍ය ක්ෂේත්රයේ නිරත පිරිස්වලට සහ පර්යේෂකයන්ට එම ඓතිහාසික තොරතුරු අධ්‍යයනය කිරීමට පුළුල් අවස්ථාවක් සැලසී ඇත.














