වී අලෙවි මණ්ඩලයේ ගබඩා සතුව පවතින වී මෙට්‍රික්ටොන් 45,000ක් වී ලෙසම වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය කටයුතු මේ දිනවල සිදුකරමින් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. ඒ සඳහා අවශ්‍ය කැබිනට් මණ්ඩල අනුමැතිය ලබන සතියේදී ලබා ගැනීමට නියමිත බව ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
පසුගිය කන්න තුනක් පුරා අඛණ්ඩව වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සිදුකළ බවත්, ඒ යටතේ මෙවර කන්නයේදී වී මෙට්‍රික්ටොන් 85,000ක් සහ පසුගිය කන්නයේදී මෙට්‍රික්ටොන් 50,000ක් වශයෙන් වී මිලදී ගෙන ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය. ජාතික සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වී සහල් කිරීමේ ක්‍රියාවලිය විධිමත්ව සිදුවන බව පැවසූ ඒ මහතා, දැනටමත් ටෙන්ඩර් පටිපාටිය ඔස්සේ සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා සහල් වෙළෙඳපොළට නිකුත් කරමින් පවතින බව ද සඳහන් කළේය.
වී අලෙවි මණ්ඩලය සතු සමස්ත වී තොගය මෙට්‍රික්ටොන් 185,000ක් වන අතර, ඉන් මෙට්‍රික්ටොන් 30,000ක් සඳහා ටෙන්ඩර් කැඳවා සහල් බවට පත් කර ඇත. ඉන් මෙට්‍රික්ටොන් 18,000ක් දැනටමත් සහල් ලෙස වෙළෙඳපොළට නිකුත් කර ඇති අතර, තවත් මෙට්‍රික්ටොන් 20,000ක් නැවත ටෙන්ඩර් මගින් සහල් බවට පත් කර නිකුත් කිරීමට සැලසුම් කර ඇත. මේ අනුව ටොන් 50,000ක වී තොගයක් සහල් ලෙස වෙළෙඳපොළට එක් කෙරේ.
ලබන සැප්තැම්බර් මාසයෙන් පසු නැගෙනහිර පළාතේ අස්වනු නෙළීම ආරම්භ වීමට නියමිත බැවින්, පවතින ගබඩා ඉඩකඩ සූදානම් කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ. ආහාර සුරක්ෂිතතා කමිටුවේ අනුමැතිය ද සහිතව, ඉතිරි වී මෙට්‍රික්ටොන් 45,000 වී ලෙසම නිකුත් කිරීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාව යොමු කර ඇති බවත්, අනුමැතිය ලද වහාම පුවත්පත් දැන්වීම් මගින් ඒ සඳහා වන කටයුතු ආරම්භ කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
















