මහා භාණ්ඩාගාරය විසින් ගෙවන ලද අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් (රුපියල් කෝටි 75කට අධික) සයිබර් අපරාධකරුවන් අතට පත්වීමේ සිද්ධියේදී, අදාළ ගිණුම් තොරතුරු සැකසහිත බවට ශ්‍රී ලංකා මහ බැංකුව අනතුරු අඟවා තිබියදීත්, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් එම තොරතුරු තහවුරු කරගෙන ඇත්තේ වංචාකරුගෙන්ම බව රජයේ මුදල් පිළිබඳ කාරක සභා (COPF) වාර්තාවෙන් අනාවරණ වී තිබේ.
2025 නොවැම්බර් සහ 2026 ජනවාරි අතර කාලයේදී ‘Export Finance Australia’ ආයතනය වෙත විදේශ ණය පියවීමේදී මෙම සයිබර් වංචාව සිදුව ඇත. අදාළ මුදල් ගෙවා ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි බැංකුවක පවත්වාගෙන ගිය වංචනික සමාගම් ත්‍රිත්වයක ගිණුම් වෙතය. මහ බැංකුව විසින් 2025 නොවැම්බර් 26 වනදාම මේ පිළිබඳව මුදල් අමාත්‍යාංශයට අනතුරු අඟවා තිබුණද, නිලධාරීන් සැබෑ ණයහිමියාගෙන් විමසනවා වෙනුවට වංචනික පාර්ශ්වය එවා තිබූ ව්‍යාජ විද්‍යුත් තැපෑලටම (Email) ප්‍රතිචාර දක්වමින් බැංකු තොරතුරු තහවුරු කරගෙන තිබේ.
වඩාත්ම බරපතළ කරුණ වන්නේ, 2026 ජනවාරි 6 වනදා ජේ.පී. මෝර්ගන් (J.P. Morgan) වංචා වැළැක්වීමේ කණ්ඩායම ද මෙවැනිම වංචාවක් ගැන අනතුරු අඟවා තිබියදී සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව CID එකට පැමිණිලි කර තිබියදීත්, ඉන් දින 11කට පසු (ජනවාරි 20) වංචාකරුවන් වෙත තවත් ඩොලර් 997,799ක මුදලක් ගෙවා තිබීමයි. මෙරටට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් සම්පත් හිඟ වී ණය ගෙවීම ප්‍රමාද වන බව පවසමින් නිලධාරීන් සැබෑ ඕස්ට්‍රේලියානු ආයතනයෙන් කාලය ඉල්ලද්දී, භාණ්ඩාගාරයේ මුදල් මේ වන විටත් සයිබර් හැකර්වරුන් සොරකම් කර අවසන් බව කමිටු වාර්තාව පෙන්වා දෙයි.















