ඉරානය අද දිනයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) ෆුජයිරා (Fujairah) තෙල් කර්මාන්ත කලාපය ඉලක්ක කර ගනිමින් ප්‍රක්ෂේපණ 19ක් එල්ල කර තිබේ. කලාපීය ආරක්ෂාව පිළිබඳ බරපතල ප්‍රශ්න මතු කරමින් එල්ල වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ABC News නාලිකාව වෙත දැක්වූ ප්‍රතිචාරය මේ වන විට දැඩි කතාබහට ලක්ව ඇත.
ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, “එල්ල කළ ප්‍රහාරවලින් බොහොමයක් වෙඩි තබා බිම හෙළීමට හැකි වුණා. එකක් පමණක් ඉලක්කයට පතිත වුණත් ඉන් විශාල හානියක් සිදු වුණේ නැහැ,” යනුවෙනි. වඩාත් ආන්දෝලනාත්මක කරුණ වන්නේ, මෙම ප්‍රහාරය මගින් ඉරානය සටන් විරාම ගිවිසුම උල්ලංඝනය කර ඇත්ද යන්න පිළිබඳව සෘජු ප්‍රකාශයක් කිරීමට ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කිරීමයි.
විදේශ ප්‍රතිපත්ති විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ ට්‍රම්ප් පාලනය සිය මිත්‍ර රටක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එල්ල වූ මෙම ප්‍රහාරය හමුවේ මෙවැනි ලිහිල් පිළිවෙතක් අනුගමනය කිරීම පිටුපස රහසිගත සාකච්ඡා මාර්ගයක් පැවතිය හැකි බවයි. එසේත් නොමැති නම්, මැදපෙරදිග යළිත් ඇවිලෙමින් පවතින යුද්ධයකට අමෙරිකාව සෘජුව මැදිහත් වීම වැළැක්වීමේ අරමුණින් ඔහු මෙම මෘදු පිළිවෙත අනුගමනය කරනවා විය හැකිය.














