අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ‘සේවා නියුක්තිකයන්ගේ ප්‍රසාද දීමනා මත බදු ඉවත් කිරීමේ’ (No Tax on Tips) නීතියට වසරක් පිරීම නිමිත්තෙන් ඊයේ (අප්‍රේල් 13) ඕවල් කාර්යාලයේදී (Oval Office) සුවිශේෂී සිදුවීමකට එක් විය. එහිදී ‘DoorDash Grandma’ ලෙස ප්‍රසිද්ධ ෂැරන් සිමන්ස් නමැති ආහාර බෙදාහරින්නිය විසින් රැගෙන ආ මැක්ඩොනල්ඩ්ස් (McDonald’s) ආහාර ඇණවුමක් ලබාගත් ජනාධිපතිවරයා, ඇයට ඩොලර් 100ක ප්‍රසාද දීමනාවක් (Tip) පිරිනැමීය.
ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලීවිට් විසින් බෙදාගත් වීඩියෝවක දැක්වෙන්නේ, ආහාර පාර්සල් භාරගන්නා අතරතුර ට්‍රම්ප් විහිළුවට මෙන් “මෙය සැලසුම් කළ එකක් වගේ පෙනෙන්නේ නැහැ නේද?” යනුවෙන් විමසන ආකාරයයි. අනතුරුව ඔහු ඇයව මාධ්‍යවේදීන් හමුවට ද කැඳවාගෙන ගිය අතර, එහිදී ඔහු අවධාරණය කළේ ප්‍රසාද දීමනා මත බදු අය නොකිරීම සේවකයන්ට ලැබුණු විශේෂ වරප්‍රසාදයක් බවයි.
මෙම අවස්ථාවට එක් වූ ෂැරන් සිමන්ස්, ජනාධිපතිවරයා සමඟ මාධ්‍ය හමුවට ද සහභාගී වෙමින් ඔහු පවසන ඕනෑම දෙයක් කිරීමට තමන් සූදානම් බව පවසා තිබේ. ට්‍රම්ප්ගේ මෙම පියවර හරහා සිය මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමේ සාර්ථකත්වය යළිත් මහජනයා හමුවේ ප්‍රදර්ශනය කිරීමට උත්සාහ කර ඇති බව දේශපාලන විචාරකයෝ පවසති.














