ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊශ්‍රායලයට සහ ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයට දැඩි පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ, සාම සාකච්ඡා බිඳ වැටීම වැළැක්වීම සඳහා සියලුම ප්‍රහාරයන් වහාම නතර කළ යුතු බවයි. බෙයිරූට් නුවරට අද (14) උදෑසන එල්ල වූ ප්‍රහාරය පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් අවධාරණය කළේ, සාම ගිවිසුමක් අත්සන් කිරීමට මෙතරම් ආසන්නව සිටින දිනයක මෙවැනි ප්‍රහාරයක් සිදුවීම කිසිසේත්ම නොවිය යුත්තක් බවයි.
ඊශ්‍රායලයට සිය ආරක්ෂාව තහවුරු කර ගැනීමේ අයිතිය ඇති බව පිළිගන්නා අතරම, අද සිදුවූ ප්‍රහාරය ඉතා සුළු සහ අර්ථ විරහිත එකක් බවත්, එයින් කිසිවෙකුට හානියක් හෝ ජීවිත හානියක් සිදුව නොමැති බවත් ට්‍රම්ප් පෙන්වා දෙයි. එබැවින් මෙම ක්‍රියාවලියට බාධා නොකර, ඉදිරියේදී ලෙබනනය ඇතුළු සමස්ත කලාපයටම සාමය ගෙන දෙන සාම ගිවිසුම සාර්ථක කර ගැනීම සඳහා සියලු පාර්ශ්වයන් සටන් විරාමයකට එළඹිය යුතු බව ඔහු වැඩිදුරටත් කියා සිටී. මෙය දීර්ඝකාලීන සාමයක ආරම්භය විය හැකි බවත්, එම අවස්ථාව ගිලිහී යාමට ඉඩ නොදිය යුතු බවත් ඔහු සිය පණිවිඩයෙන් අවධාරණය කරයි.
















