ඉරානයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශ කෙරෙහි අවධානය යොමු කරමින් ඊට මැදිහත් නොවන ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ජර්මානු චාන්සලර් ෆෙඩ්රික් මර්ස් වෙත දැඩි ලෙස අනතුරු අඟවා තිබේ.
අමෙරිකාව ඉරාන සාම නියෝජිතයින් හමුවේ නින්දාවට පත්ව ඇති බවට චාන්සලර් මර්ස් කළ ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ට්‍රම්ප් මෙම අනතුරු ඇඟවීම සිදු කර ඇත. මීට අමතරව ජර්මනියේ දැනට රඳවා සිටින දහස් ගණනක් වූ අමෙරිකානු සෙබළුන් ඉවත් කර ගැනීම කෙරෙහි ද අමෙරිකාවේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
නුදුරේදීම අමෙරිකාව ඉරානය වෙත පහරදීමේ හැකියාවක් පවතින බවට අමෙරිකානු ජනාධිපතිවරයා ඉඟි කර තිබේ. මේ අතර ඉරානය ද පවසන්නේ අමෙරිකාව සිය වරායන් අවහිර කිරීම තවදුරටත් ඉවසිය නොහැකි මට්ටමකට පැමිණ ඇති බවයි.
හෝමුස් සමුද්‍රසන්ධියේ පවතින අනාරක්ෂිත තත්ත්වයට අමෙරිකාව සහ ඊශ්‍රායලය වගකිව යුතු බව ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත. එමෙන්ම හෝමුස් සමුද්‍රසන්ධියේ රැඳී සිටින සතුරන් විනාශ කර ගල්ෆ් කලාපය සුරක්ෂිත කිරීම ඉරානයේ වගකීමක් බව ඉරාන ආධ්‍යාත්මික නායක මොජ්ටබා කමේනි අවධාරණය කරයි.
සටන්විරාමය පවතින අතරතුර ඉරානය සිය ඩ්‍රෝන සහ මිසයිල නිෂ්පාදනය කඩිනම් කර ඇති බවත් අමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් විනාශ වූ ස්ථානවල සුන්බුන් අතර ඇති ආයුධ නැවත ගොඩගැනීමට ඉරානය කටයුතු කරමින් සිටින බවත් අමෙරිකානු බලධාරීන් උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර තිබේ.














