ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන හිතකාමී පරිසරය සහ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි අවධානය යොමු කරමින්, ඉදිරියේදී මෙරට ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් දක්වන බව තුර්කි ආයෝජකයින් පවසයි. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක ඇමැති විජිත හේරත් මහතා සහ තුර්කියේ පෙන්තෝල් සමූහය (Penthol Group) හා ඇමෙරොන් එනර්ජීස් (Ameron Energies) සමාගම්වල ව්‍යාපාරික දූත පිරිසක් අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති හමුවකදී මේ බව ප්‍රකාශ කෙරිණි.
නව රජය බලයට පත්වීමෙන් පසු නිර්මාණය වී ඇති ආයෝජන හිතකාමී පරිසරය සහ ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා බාධාවකින් තොරව කටයුතු කිරීමට ඇති හැකියාව පිළිබඳව තුර්කි නියෝජිතයින් සිය ප්‍රසාදය පළ කළහ. තුර්කි ව්‍යාපාරික දූත පිරිසේ මෙම සංචාරයේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ ශ්‍රී ලංකාවේ පවතින ආයෝජන අවස්ථා පිළිබඳව මූලික අවබෝධයක් ලබා ගනිමින් ඒ සඳහා සූදානම් වීමයි.
ඇමැති විජිත හේරත් මහතා මෙරට ආයෝජන අවස්ථා සඳහා තුර්කි සමාගම් දක්වන උනන්දුව අගය කළ අතර, බලශක්ති, සංචාරක, ඖෂධ, ඉදිකිරීම් සහ කැණීම් යන ක්ෂේත්‍රවල පවතින ආයෝජන විභවයන් පිළිබඳව කරුණු පැහැදිලි කළේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව ආයෝජන හිතකර ආර්ථිකයක් දක්වා වර්ධනය වී ඇති බවත්, බලශක්ති ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති සඳහා සහයෝගය ලබාදීමට තුර්කි ආයෝජකයින්ට හැකියාව ඇති බවත් ඇමැතිවරයා පෙන්වා දුන්නේය.
















