බ්‍රිතාන්‍ය දේශපාලන කරළිය දැඩි අර්බුදයකට ලක් කරමින් එංගලන්ත අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. රාජ්‍ය ලේකම් සබානා මහමුද් මහත්මියගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් වාර්තා වන්නේ පාලක කම්කරු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 72 දෙනෙකු වත්මන් අග්‍රාමාත්‍යවරයාගේ ඉවත් වීම අපේක්ෂා කරන බවයි. මෑතකදී පැවති බ්‍රිතාන්‍ය ප්‍රාදේශීය මැතිවරණයෙන් පාලක කම්කරු පක්ෂය ලැබූ දැවැන්ත පරාජය මෙම දේශපාලන අර්බුදයට ප්‍රධානතම හේතුව වී තිබෙනවා.
මෙම මැතිවරණ පරාජයත් සමඟ රජයේ අභ්‍යන්තරයේ දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, මේ වන විටත් කැබිනට් අමාත්‍යවරුන් ඇතුළු රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට පියවර ගෙන තිබෙනවා. පක්ෂ අභ්‍යන්තරයෙන් එල්ල වන දැඩි බලපෑම සහ ජනතා ප්‍රසාදය ගිලිහී යාම හේතුවෙන් ඉදිරි දින කිහිපය ඇතුළත බ්‍රිතාන්‍ය අගමැති ධූරයේ වෙනසක් සිදුවනු ඇති බවටයි දේශපාලන විචාරකයින් අනාවැකි පළ කරන්නේ.
















