යුද්ධයෙන් බැටකන ගාසා තීරයේ කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට එරෙහි හිංසනයන්, විශේෂයෙන්ම බාලවයස්කාර හා බලහත්කාර විවාහ ඉහළ ගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA) නිකුත් කළ නවතම වාර්තාවකින් හෙළි වී තිබෙනවා.
එම වාර්තාවට අනුව, 2026 වසරේ දෙවන කාර්තුව වන විට වයස අවුරුදු 12ත් 17ත් අතර දැරියන්ගේ බාලවයස්කාර විවාහ සංඛ්‍යාව පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 123කින් ඉහළ ගොස් තිබෙනවා.
දැඩි සාගින්න සහ දිළිඳුකම හමුවේ ඇතැම් පවුල් තම දියණියන් ඉතා කුඩා වයසින් විවාහ කර දීමට පෙළඹී ඇති බවද වාර්තාවේ සඳහන්. ආහාර ලබාගැනීම වෙනුවෙන් දැරියන් විවාහ කර දුන් සිදුවීම් මෙන්ම, ලිංගික හිංසනයට ලක්වූ දැරියන් සමාජ අපකීර්තියෙන් බේරාගැනීමේ නාමයෙන් හිංසකයන්ටම විවාහ කර දීමේ ප්‍රවණතාවක්ද වාර්තා වී තිබෙනවා.
යුද්ධය හේතුවෙන් සමාජීය ව්‍යුහයන් බිඳවැටීම, පාසල් වසා දැමීම, නීතිමය ආරක්ෂාව දුර්වල වීම සහ දෙමාපියන් අහිමි වූ දැරියන්ගේ නඩත්තු බර වැනි කරුණු මෙම තත්ත්වයට බලපා ඇති බවද වාර්තාව පෙන්වා දෙනවා.
කුඩා වයසින් ගැබ්ගැනීම් ඉහළ යාමත් සමඟ මන්දපෝෂණය සහ සනීපාරක්ෂක පහසුකම් නොමැතිකම හමුවේ දැරියන් දැඩි සෞඛ්‍ය අවදානම්වලට මුහුණ දෙන බවද සඳහන්. ගබ්සාවීම් සහ අඩු බර සහිත දරුවන් උපත ලැබීමේ අවදානමද ඉහළ ගොස් ඇති බව වෛද්‍ය සංවිධාන අවධාරණය කරනවා.
















