ආපදා හේතුවෙන් දැඩි හානි සිදුවූ උඩරට දුම්රිය මාර්ගයේ ඉහළකෝට්ටේ සහ බලන අතර කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට කඩිනම් කර තිබේ.
අදාළ ස්ථානවල ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සේවා දුම්රියක් ප්‍රවේශ කරවා ගැනීමේ අරමුණින් රඹුක්කන සහ කඩිගමුවේ සිට ඉහළට දුම්රිය මාර්ගය සකස් කිරීම දැනටමත් සිදුවෙමින් පවතී. බලන දුම්රිය ස්ථානයට නුදුරුව ස්ථාන දෙකක් සහ ඉහළකෝට්ටේ ස්ථාන දෙකක් ඇතුළුව ස්ථාන හතක් පමණ මෙලෙස දැඩි හානියට පත්ව ඇත.
දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග හා කර්මාන්ත අංශය මගින් තාවකාලිකව සිල්පර කොට යොදා මාර්ගය සකස් කරන අතර, ඒ මතින් කඩිගමුව, ගංගොඩ සහ ඉහළකෝට්ටේ දක්වා සේවා දුම්රියක් ගමන් කරවීමට නියමිතය. මෙම ප්‍රදේශ දුෂ්කර ගිරි දුර්ග ඔස්සේ පිහිටා ඇති බැවින් ස්ථිර මාර්ගය සකස් කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට සිදුව ඇත්තේ ද දුම්රිය මාර්ගය ඔස්සේමය.
මහා මාර්ගය ඔස්සේ ප්‍රවේශ විය හැකි බලන දුම්රිය ස්ථානය ආසන්නයේ ඇති දැඩි අවදානම් ස්ථානයේ කටයුතු ද මේ වන විට කඩිනම් කර තිබේ. මෙම වසර අවසානයේ හෝ ලබන වසරේ මුල භාගයේදී මෙම මාර්ගයේ සාමාන්‍ය දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.














