මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ඇමෙරිකානු හමුදාව සිය ඉතිහාසයේ විශාලතම ඩ්‍රෝන මර්දන පුහුණු මෙහෙයුම ආරම්භ කර ඇති බව වාර්තා වේ. ඉරාන ඉන්ටර්නැෂනල් පුවත් සේවය පෙන්වා දෙන්නේ යුක්‍රේන යුද පිටියේදී සාර්ථකව අත්හදා බැලූ නවීන තාක්ෂණික පද්ධති මෙලෙස ඉරානය සමඟ පවතින ගැටුමේදී භාවිතයට ගෙන ඇති බවයි. දැනටමත් ක්‍රියාත්මක කර ඇති ‘මෙරොප්ස්’ නමැති සුවිශේෂී ආරක්ෂක පද්ධතිය මගින් සතුරු ඩ්‍රෝන යානා විනාශ කිරීම සඳහා ඩොලර් 15,000ක පමණ පිරිවැයක් සහිත මිසයිල භාවිත කරනු ලබයි. මෙම පද්ධති මේ වන විට ප්‍රධාන මධ්‍යස්ථාන දෙකක ස්ථාපිත කර ඇති අතර 100කට අධික සෙබළුන් පිරිසක් එහි පුහුණුවීම් සහ මෙහෙයුම් සඳහා යොදවා තිබේ.
මෙරොප්ස් පද්ධතිය රේඩාර්, ලෝන්චර් සහ පාලන ඒකකවලින් සමන්විත වන අතර එවැනි පද්ධති 20ක් පමණ මේ වන විට සක්‍රීයව භාවිත වේ. නූතන යුද පිටිය තුළ ඩ්‍රෝන යානා බහුලව භාවිත වන බැවින් ඒවාට ඉතා ඉක්මනින් සහ සාර්ථකව ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේ හැකියාව ඇමෙරිකාව මෙහිදී වර්ධනය කර ගනිමින් සිටී. මීට පෙර රුසියානු ඩ්‍රෝන යානාවලට එරෙහිව යුක්‍රේනයේදී ලබාගත් අත්දැකීම්, ඉරාන නිෂ්පාදිත ඩ්‍රෝන යානා මර්දනය කිරීම සඳහා මෙහිදී ප්‍රායෝගිකව යොදා ගැනේ. ඉරානය සහ එහි හිතවාදී කණ්ඩායම් විසින් එල්ල කළ හැකි ඩ්‍රෝන ප්‍රහාරවලින් සිය හමුදා කඳවුරු සහ නෞකා ආරක්ෂා කර ගැනීම ඇමෙරිකාවේ මූලික අරමුණ වී තිබේ. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නොසන්සුන්තාව හමුවේ මෙම නවීන ආරක්ෂක පද්ධති ස්ථාපිත කිරීම කලාපීය බල අරගලයේ තීරණාත්මක පියවරක් ලෙස සැලකේ.
තොරතුරු උපුටා ගැනීම: Iran International ඇසුරින්














