මැදපෙරදිග පවතින යුද ගැටුම් හේතුවෙන් ඉහළ ගොස් ඇති ලෝක ඉන්ධන මිල යථා තත්ත්වයට පත්වීමට තවත් මාස පහක් පමණ ගතවනු ඇති බව ඇමෙරිකානු බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් පවසයි. වොෂින්ටන් නුවර පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුවේදී ඔහු පෙන්වා දුන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව පවතින යුදමය වාතාවරණය සහ ඇමෙරිකාව විසින් පනවා ඇති නාවික අවහිරතා හේතුවෙන් ඉන්ධන මිල තවදුරටත් ඉහළ යා හැකි බවයි. මෙම තත්ත්වය සමනය වීමට ලබන සැප්තැම්බර් මාසය දක්වා කාලය ගතවනු ඇති බවට ඔහු අනාවැකි පළ කළේය.
මේ අතර, ඉරාන ජනාධිපති මෂුඩ් පෙෂෙෂ්කියන් සාම සාකච්ඡා සඳහා සූදානම් බව පවසා ඇති අතර ඒ සඳහා පකිස්ථානය, තුර්කිය සහ ඊජිප්තුව මැදිහත් වී සිටී. එසේ වුවත්, ඇමෙරිකාව සතු විශාලතම යුද නෞකාව වන යූ.එස්.එස්. ඒබ්‍රහම් ලින්කන් යාත්‍රාව ඉරානයට කිලෝමීටර් 200ක් තරම් සමීපයට යොමු කර ඇති බව වාර්තා වේ. ජනාධිපති ට්‍රම්ප්ගේ මෙම යුදමය සූදානම හේතුවෙන් පකිස්ථානය දියත් කර ඇති සාම ප්‍රයත්නයන් අවදානමට ලක්ව ඇති බව ජාත්‍යන්තර විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














