නව ප්‍රාග්ධන රීති ලිහිල් කිරීම සම්බන්ධයෙන් තවදුරටත් දැඩි බලපෑම් එල්ල නොකරන ලෙස ඇමෙරිකානු මහ බැංකුව (Federal Reserve) එරට ප්‍රධාන පෙළේ වාණිජ බැංකුවලට දැනුම් දී තිබේ. බැංකු සතු විය යුතු අවම ප්‍රාග්ධන මට්ටම් පිළිබඳව මහ බැංකුව විසින් මීට පෙර ඉදිරිපත් කර තිබූ දැඩි කොන්දේසි මේ වන විට යම් ප්‍රමාණයකට ලිහිල් කර ඇති බැවින්, ඒ පිළිබඳව සීමිත සහ නිශ්චිත ප්‍රතිචාර පමණක් ලබා දෙන ලෙස මහ බැංකුවේ ඉහළ නිලධාරීන් බැංකු විධායකයින්ට දන්වා ඇත.
2023 වසරේදී ඉදිරිපත් කළ මුල් සැලසුම මගින් බැංකුවල ප්‍රාග්ධන මට්ටම් 20%කින් ඉහළ නැංවීමට යෝජනා වී තිබූ අතර, බැංකු ක්ෂේත්‍රයෙන් එල්ල වූ දැඩි විරෝධය හමුවේ එම යෝජනා සංශෝධනය කිරීමට මහ බැංකුවට සිදු විය. නව සංශෝධිත කෙටුම්පතට අනුව ප්‍රධාන බැංකුවල ප්‍රාග්ධන මට්ටම් 4.8%කින් පමණ අඩු වනු ඇති බව ගණන් බලා ඇත. මෙය බැංකු ක්ෂේත්‍රය ලැබූ ජයග්‍රහණයක් ලෙස සැලකෙන අතර, රීති තවදුරටත් ලිහිල් කිරීමට උත්සාහ කිරීම මගින් දේශපාලනික වශයෙන් ඇති විය හැකි ගැටලුකාරී තත්ත්වයන් වළක්වා ගැනීම මහ බැංකුවේ අපේක්ෂාව වී තිබේ.














