ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම් අවසන් කිරීම සඳහා වූ දිගුකාලීන සාම ගිවිසුමක මූලික රාමුවක් සම්බන්ධයෙන් දෙපාර්ශවය එකඟතාවකට පැමිණ ඇති බව ඇමරිකානු සහ පාකිස්තානු නායකයින් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම ගිවිසුමට අත්සන් තැබීමේ නියමිත දිනය සම්බන්ධයෙන් තවමත් අවිනිශ්චිත තත්ත්වයක් පවතී.
ගිවිසුමට අත්සන් තැබීම ඉරිදා දිනයේ සිදුකරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළද, ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ඉස්මයිල් බඝායි සඳහන් කළේ අත්සන් තැබීම හෙට දින සිදු නොවන බවත්, එය ඉදිරි දින කිහිපය තුළ සිදුවිය හැකි බවත්ය.
ගිවිසුමේ ප්‍රධාන කොන්දේසියක් වන්නේ ගෝලීය තෙල් සැපයුමට තීරණාත්මක වන හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීමයි. එය විවෘත කිරීමත් සමඟ ඇමරිකාව විසින් ඉරානයට පනවා ඇති නාවික අවහිර කිරීම් ඉවත් කිරීමට නියමිතය. ගිවිසුමේ කොටසක් ලෙස ඉරානයේ කැටි කර ඇති බිලියන ගණනක වත්කම් නිදහස් කිරීමට සහ ඉරානයේ තෙල් අපනයනය මත පනවා ඇති සම්බාධක ලිහිල් කිරීමට ඇමරිකාව එකඟ වී ඇත. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධ සාකච්ඡා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුව, දින 60ක කාල සීමාවක් තුළ පැවැත්වීමට සැලසුම් කර ඇත.
මේ අතර, ගිවිසුම පිළිබඳ සාකච්ඡා පැවතියද, ඇමරිකානු සහ ඉරාන හමුදා අතර ගැටුම් තවමත් සම්පූර්ණයෙන්ම නතර වී නොමැත. මෙම සාම ගිවිසුම සම්බන්ධයෙන් ඉරානය තුළ සිටින දැඩි මතධාරීන් සහ විරෝධතාකරුවන් සිය අප්‍රසාදය පළ කරමින් විරෝධතාවල නිරත වන අතර, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසන්නේ ඊශ්‍රායලය මෙම ඇමරිකානු-ඉරාන ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන බවයි.
















