අමෙරිකානු හමුදාව විසින් දකුණු ඉරානයේ ඉලක්ක වෙත ආරක්ෂක ප්‍රහාර මාලාවක් එල්ල කිරීමෙන් අනතුරුව, ඉරානය සමඟ පවතින ගැටුම වහා අවසන් වනු ඇතැයි පැවති බලාපොරොත්තු මධ්‍යයේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ අඟහරුවාදා ප්‍රකාශ කළේ සාකච්ඡා හරහා එකඟතාවකට පැමිණීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවයි.
හෝමූස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය යළි ආරම්භ කිරීම සහ යුද්ධය නතර කිරීම අරමුණු කරගත් අවබෝධතා ගිවිසුමක ප්‍රගතියක් පිළිබඳ දෙපාර්ශවයම මීට පෙර ඉඟි කර තිබුණි. මෙම ගිවිසුම හරහා ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වැනි සංකීර්ණ ගැටළු සාකච්ඡා කිරීම සඳහා දින 60ක කාලයක් ලබා දීමට නියමිතව තිබුණි.
පතල් ඇටවීමට උත්සාහ කළ බවට සැක කෙරෙන බෝට්ටු සහ මිසයිල දියත් කිරීමේ මධ්‍යස්ථාන ඉලක්ක කර අමෙරිකාව එල්ල කළ ප්‍රහාරවලින් පසු ඉන්දියාවේ ජයිපූර් නුවරදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ රුබියෝ සඳහන් කළේ හෝමූස් සමුද්‍ර සන්ධිය ඕනෑම ආකාරයකින් විවෘතව පැවතිය යුතු බවයි.
මේ අතර ඉරාන විප්ලවීය ආරක්ෂක බළකාය ප්‍රකාශ කරන්නේ ඕනෑම සටන් විරාම උල්ලංඝනයකට ප්‍රතිචාර දැක්වීමේ අයිතිය තමන් සතු බවයි. පෙබරවාරි 28 වන දින අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් ආරම්භ වූ මෙම යුද්ධය හේතුවෙන් ගෝලීය තෙල් සැපයුමට බාධා එල්ල වී ඇති අතර, ඉන්ධන, පොහොර සහ ආහාර මිල ඉහළ යාමට ද එය හේතු වී තිබේ.
















