මිනසෝටා ප්‍රාන්තය විසින් ගෝලීය හරිතාගාර වායු විමෝචනය නියාමනය කිරීමට සහ බලශක්ති සමාගම්වලට එරෙහිව ක්‍රියා කිරීමට දැරූ උත්සාහයට එරෙහිව එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව සඳුදා (04) නඩුවක් ගොනු කර තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බලශක්ති ප්‍රතිපත්තිවලට අදාළව ගනු ලැබූ නවතම පියවර මෙය වේ.
මිනසෝටා ප්‍රාන්තය විසින් බලශක්ති සමාගම්වලට එරෙහිව ප්‍රාන්ත අධිකරණයේ නඩු පවරමින් හරිතාගාර වායු විමෝචනය නියාමනය කිරීමට උත්සාහ කිරීම, ෆෙඩරල් බලධාරීන්ට සහ ජාතික බලශක්ති ස්වාධීනත්වයට බාධාවක් බව රජයේ පාර්ශ්වය පෙන්වා දෙයි. හරිතාගාර වායු විමෝචන සහ බලශක්ති ප්‍රතිපත්ති යනු ෆෙඩරල් රජයට පමණක් අයත් බල සීමාවක් බවත් ඊට ප්‍රාන්තවලින් මැදිහත් වීම නීති විරෝධී බවත් අධිකරණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
ජනාධිපති ට්‍රම්ප් විසින් ඇමරිකානු බලශක්ති සුරක්ෂිතතාව සහ නිදහස තහවුරු කිරීමට පියවර ගෙන ඇති අතර, ඊට පටහැනි වන අයුරින් ප්‍රාන්ත ක්‍රියාත්මක නොවිය යුතු බවට උපදෙස් දී ඇත. මීට අමතරව පසුගිය කාලය තුළ මිනසෝටා ප්‍රාන්තය තුළ ෆෙඩරල් විමර්ශන, ආගමන විගමන ගැටලු මෙන්ම සමාජ සුභසාධන වංචා පිළිබඳවද නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල දැඩි අවධානය යොමු විය.














