ආක්ටික් කලාපයේ සහ උතුරු අත්ලාන්තික් සාගරයේ රුසියානු සහ චීන සමුද්‍රීය ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමේ ජාලය ශක්තිමත් කිරීම සඳහා ග්‍රීන්ලන්තයේ නව හමුදා කඳවුරු තුනක් විවෘත කිරීමට එක්සත් ජනපදය සූදානම් වන බව විදෙස් වාර්තා සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් ඇමරිකාව, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්ත රජය සමඟ දැඩි ආරක්ෂිත සාකච්ඡා පවත්වමින් සිටියි.
විශේෂයෙන් ‘GIUK Gap’ නමින් හැඳින්වෙන මුහුදු සීමාවේ නිරීක්ෂණ කටයුතු ශක්තිමත් කිරීම මෙහි මූලික අරමුණකි. දකුණු ග්‍රීන්ලන්තයේ කඳවුරු තුනක් පිහිටුවීමට යෝජනා වී ඇති අතර, මින් එකක් කලින් ඇමරිකානු කඳවුරක් ලෙස පැවති නර්සාර්සුආක් (Narsarsuaq) ප්‍රදේශයේ පිහිටුවීමට ඉඩ ඇති බව වාර්තා වේ. ධවල මන්දිරය සහ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙම සාකච්ඡාවලට නායකත්වය දෙන අතර දැනටමත් මෙවැනි ඉහළ පෙළේ රැස්වීම් කිහිපයක් පවත්වා ඇත.
නව කඳවුරු සම්බන්ධයෙන් ඇමරිකානු පාර්ශවයෙන් ඒවා “එක්සත් ජනපද ස්වෛරී භූමියක්” ලෙස නම් කිරීමට යෝජනා ඉදිරිපත් වී තිබුණද, ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සිය ස්වෛරීභාවය ආරක්ෂා කරගැනීමට දැඩි ස්ථාවරයක පසුවන බව සඳහන් වේ. පසුගිය ජනවාරි මාසයේදී ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීම පිළිබඳව කළ ප්‍රකාශයන් නිසා ඇති වූ රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය සමනය කිරීමේ උත්සාහයක් ලෙස මෙම නිල මට්ටමේ සාකච්ඡා ආරම්භ වී තිබේ. ග්‍රීන්ලන්ත අගමැති ජෙන්ස්-ෆෙඩ්රික් නීල්සන් (Jens-Frederik Nielsen) ප්‍රකාශ කර ඇත්තේ සාකච්ඡා නිවැරදි දිශාවට යොමුව ඇති නමුත් මෙතෙක් අවසන් එකඟතාවයකට පැමිණ නොමැති බවයි.














