ඇමරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව අතර පවතින ප්‍රධාන වෙළඳ ගිවිසුම (USMCA) වත්මන් ස්වරූපයෙන් අලුත් කිරීම ඇමරිකානු රජය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. මෙම තීරණයත් සමඟ වසර 16ක ස්වයංක්‍රීය කාල දීර්ඝ කිරීමක් එම ත්‍රිපාර්ශ්වික ගිවිසුමට අහිමි වී ඇත.
ඇමරිකානු බලධාරීන් පවසන්නේ, පවතින ගැටළු විසඳීමකින් තොරව මෙම ගිවිසුම යළි අනුමත කිරීමට රජය අකමැති බවයි. ගිවිසුම අලුත් කිරීම සම්බන්ධයෙන් ඒකමතික එකඟතාවකට පැමිණීමට රටවල් අසමත් වුවහොත්, එම ගිවිසුම වසර දහයක කාලයකින් අවසන් වීමේ අවදානමක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.
වාහන නිෂ්පාදන නීති, කිරි නිෂ්පාදන වෙළඳපල ප්‍රවේශය සහ චීනය වැනි තුන්වන පාර්ශවීය රටවල් මෙම කලාපීය ගිවිසුම අනිසි ලෙස භාවිතා කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ඇමරිකාව නිරන්තරයෙන් සිය කනස්සල්ල පළ කර තිබුණි. මෙම තීරණයත් සමඟ එම රටවල් තුනට ගිවිසුමේ කොන්දේසි සංශෝධනය කිරීම සඳහා වාර්ෂිකව සාකච්ඡා කිරීමට සිදුවනු ඇත.
මෙම ගිවිසුම හරහා වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2කට ආසන්න වෙළඳාමක් සිදු කෙරෙන අතර, ඇමරිකාවේ කාර්මික සහ කෘෂිකාර්මික අංශ මේ හරහා ලැබෙන ස්ථාවරත්වය මත දැඩිව රඳා පවතියි. කෙසේ වෙතත්, වාර්ෂික සමාලෝචන මගින් ඇමරිකානු සාකච්ඡාකරුවන්ට ගිවිසුමේ අඩුපාඩු නිවැරදි කිරීමට වැඩි බලපෑමක් ලබා දෙනු ඇතැයි දේශීය වෙළඳ කණ්ඩායම් විශ්වාසය පළ කරයි.














