මඩකලපුව, වාලච්චේන ප්රදේශයේ කෝවිලක පැවැති වාර්ෂික උත්සවයක් අතරතුර දල්වන ලද මල්වෙඩිල්ලක් හදිසියේ පිපිරී යාමෙන් වයස අවුරුදු 13ක පිරිමි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කිරාන්, කුලාක්කාඩු ප්රදේශයේ පදිංචිව සිටි මෙම දරුවා මියගොස් ඇත්තේ, ඊයේ (11) රාත්රී 11ට පමණ කෝවිල් උත්සවය අතරතුර දල්වන ලද මල්වෙඩිල්ලක් වහා පිපිරී නොයෑම හේතුවෙන් එය පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවකදී එකවරම එය පිපිරී යාමෙනි. බරපතළ තුවාල ලැබූ දරුවා වාලච්චේන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.













