27 April 2024
#ව්‍යාපාර

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද 5% දක්වා අඩු කෙරේ

රෙදිපිළි කර්මාන්තයේ නිරත පාර්ශ්වකරුවන්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ආනයනික රෙදිපිළි මත පනවා තිබූ වැට් බද්ද 5% දක්වා අඩු කර ඇති බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි. ඒ අනුව රෙදිපිළි මත 15%ක්ව වූ වැට් බද්ද අද (18) සිට අඩු කිරීමේ ගැසට් නිවේදනයට මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද අත්සන් තබා ඇත. 

මීට පෙර රෙදි පිළි ආනයනයේ දී කිලෝ ග්‍රෑම් එකක් සඳහා රුපියල් 100ක් සෙස් බද්දක් අය කෙරිණි. 2018 අයවැය මගින් භාණ්ඩ මත 15%ක වැට් බද්දක් පනවමින් 2002 අංක 14 දරන වැට් බදු පනත සංශෝධනය කෙරුණු අතර එය 2018 අගෝස්තු මස 16 වැනි දා සිට ක්‍රියාත්මක කෙරිණි.

ඒ අනුව ආනයනික රෙදිපිළි ද 15% වැට් බද්දට යටත් විය. මේ හේතුවෙන් තමන් මහත් පීඩාවට පත්ව ඇති බව කුඩා පරිමාණ නිමි ඇඳුම් කර්මාන්තකරුවන්, වෙළෙන්දන් සහ ආනයනකරුවන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවධානයට ලක් කළහ.

එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා සහන ණය වැඩසටහන යටතේ ව්‍යවසායකයන් ලක්ෂයක් බිහි කිරීමේ දී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්, නිමි ඇඳුම් නිෂ්පාදකයන්ට ද මෙම ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද පහත හෙලීමෙන් විශේෂ සහන හිමි වනු ඇත.

දැනට වැට් ව්‍යුහයට යටත් නොවන සුළු හා මධ්‍ය පරිමාණ ඇගලුම් නිෂ්පාදකයන්ට ද මෙමගින් අවශ්‍ය ආනයනික රෙදිපිළි මිල දී ගැනීමේ දී සහන හිමිවේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *