හයර් එකක් යන මුවාවෙන් රවටා වෑන් රථයක් අම්පාර මාඔය ප්‍රදේශයට රැගෙන ගොස්, එහි හිමිකරුට උල් පිහියකින් පහර දී බරපතළ තුවාල සිදුකර වෑන් රථය පැහැරගෙන පලා ගිය සැකකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු වෑන් රථයද සමග බකමූණ යාය 8 ප්‍රදේශයේදී (14) අත්අඩංගුවට ගෙන තිබේ.
පොළොන්නරුව ගල්විහාරය ආසන්නයේ පදිංචි 52 හැවිරිදි රථයේ හිමිකරු වන ජේ. වසන්ත ජයසිංහ මහතා අම්පාර මාඔය ප්‍රදේශයට රැගෙන ගිය සැකකරුවන්, එහිදී රියැදුරුගේ ගෙලට උල් පිහියක් තබා කැලෑ ප්‍රදේශයකට රැගෙන ගොස් බරපතළ තුවාල සිදුකර වෑන් රථය රැගෙන පලාගොස් ඇත. පසුව බරපතළ තුවාල ලබා සිටි හිමිකරු ප්‍රධාන මාර්ගයට පැමිණ මාර්ගයේ ගමන් කළ පිරිසකගේ සහාය ඇතිව මාඔය රෝහලට ඇතුළත් වී ඇති අතර, ඔහුගේ පුත්‍රයා මගින් ලැබුණු තොරතුරකට අනුව පොලිසිය ක්‍රියාත්මක වී තිබේ. ගිරිතලේ ප්‍රදේශයේදී හඳුනාගත් මෙම වෑන් රථය බකමූණ දෙසට ධාවනය වන අවස්ථාවේ පොලිසිය මාර්ග බාධකයක් යොදා නතර කිරීමට උත්සාහ කළද, සැකකරුවන් එය නොනවත්වා ධාවනය කර බකමූණ යාය 8 ප්‍රදේශයේදී වෑන් රථය දමා පලාගොස් ඇත. පසුව බකමූණ පොලිසියේ නිලධාරීන් සහ පොලිස් නිල සුනඛයකු යොදා සිදුකළ මෙහෙයුමකදී පිළියන්දල ප්‍රදේශයේ පදිංචි සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇති අතර, පලාගිය අම්පාර ප්‍රදේශයේ පදිංචි අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා බකමූණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
















