සෞඛ්‍ය සම්පන්න විකල්පයක් ලෙස ප්‍රචලිත වී ඇති වැප් (Vape) භාවිතය, ඇස් පෙනීම දුර්වල වීමට සහ අවසානයේ අන්ධභාවයට පත්වීමට හේතු විය හැකි බව නවතම පර්යේෂණයකින් තහවුරු වී තිබේ.
කොරියාවේ සිදු කරන ලද පුළුල් පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, සිගරට් පානය නතර කරනවා වෙනුවට නිකොටින් අධික වැප් (Vape) වෙත මාරුවීමෙන් දියවැඩියා රෙටිනෝපති (Diabetic Retinopathy) වැනි බරපතළ ඇස් රෝග ඇතිවීමේ අවදානම ඉහළ යන බවයි.
මෙයට ප්‍රධාන හේතුව ලෙස පර්යේෂකයන් සැක කරන්නේ වැප් තුළ අන්තර්ගත නිකොටින්වල බලපෑමයි. දුම්කොළවල ඇති විෂ ද්‍රව්‍ය නොමැති වුවද, වැප්වල ඇති නිකොටින් මගින් ඇසෙහි ඇති රුධිර වාහිනී හැකිලීමට ලක්වීම, සියුම් පටක වෙත ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවීම සහ ඇස්වල නිදන්ගත දැවිල්ල ඇති කිරීම සිදු වේ.
පස් වසරක් පුරා සිදු කරන ලද මෙම පර්යේෂණයට අනුව, නිකොටින් භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ පුද්ගලයින්ට සාපේක්ෂව, වැප් භාවිතා කරන පුද්ගලයින් තුළ බරපතළ ඇස් රෝග ඇතිවීමේ අවදානම 7%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
එමෙන්ම, ඇසේ කාචය බොඳ වීම (Cataracts), ඔප්ටික් ස්නායුවට හානි සිදුවීම (Glaucoma) සහ වයසට සම්බන්ධ මැකියුලර් පරිහානිය (Macular degeneration) වැනි ඇස් පෙනීම අහිමි කරවන රෝග තත්ත්වයන් ද වැප් භාවිතය නිසා ඇති විය හැකි බව පර්යේෂකයින් වැඩිදුරටත් අනතුරු අඟවයි.
















